278

 

ඉද්දා නීති රීති හා පිළිවෙ

 

] සිංහල – Sinhala –[سنهالي

 

 

 

M.S.M . ඉම්තියාස් යූසුෆ් සලෆි

 

සිංහලෙන්

මව්ලවි මාහිර් ටී. ඩී. රම්ඩීන්

 

 

 

 

 

 

2013 - 1435

 


 

أحكام العدة

« باللغة السنهاليةة »

 

 

 

 

 

 

محمد إمتياز يوسف

 

 

 

 

ترجمة: ماهر رمدين

 

 

 

 

2013 - 1435

 

 

 

 

ඉද්දා නීති රීති හා පිළිවෙ

 

 

 

M.S.M . ඉම්තියාස් යූසුෆ් සලෆි

සිංහලෙන්

මව්ලවි මාහිර් ටී. ඩී. රම්ඩීන්

 

 


පටුන

ශුභාශිංසනය

හැඳින්වීම

ඉද්දා යනු කුමක් ද?

ස්වාමි පුරුෂයාගේ මරණය වෙනුවෙන් ඉද්දා

ගර්භිණී මාතාවකගේ ඉද්දා

විවාහ වී අඹු සැමි ඇසුරු කිරීමට මත්තෙන් දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දා              

අඹු සැමි ඇසුරෙන් පසු දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දා

බිරිය තලාක් ඉල්ලා සිටියේ නම් ඇයට නියම වන ඉද්දා

ඉස්ලාමය වැලඳ ගත් කාන්තාවකගේ ඉද්දා

ඔසප් තත්ත්වය නතර වූ කාන්තාවකගේ ඉද්දා

ඉද්දා ඇරඹිය යුත්තේ කවදා ද?

ඉද්දා ඇරඹිය යුත්තේ කොතැන් සිට ද?

ඉද්දාවෙහි නියමිත කාල සීමා පොරොත්තුවෙන් සිටිය යුත්තේ ඇයි?

ඉද්දාවෙහි ක්‍රමවේදයන් හා බිහිවුණු මිථ්‍යා විශ්වාස

 

 

ශුභාශිංසනය

සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. සලවාත් හෙවත් දේව ආශිර්වාදයත් සලාම් හෙවත් ශාන්තියත් අවසාන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ද එතුමාණන්ගේ පවුලේ ඥාතීන් කෙරෙහි ද එතුමාණන්ගේ උදාර සහාබිවරුන් කෙරෙහි ද සදහටම හිමි වේවා.!

ඉස්ලාමය සම්පූර්ණ ජීවන සැලැස්මකි. එය ජීවිතයේ සියලුම අංශ ආවරණය කරමින් ඉතා පැහැදිලි ලෙස කතා කරයි. ඉස්ලාමය නොදත් ඇතැම් මුස්ලිම්වරුන් ඉස්ලාමයේ ශුද්ධ ඉගැන්වීම්හි දූවිලි තවරා  විනාශ කරන අයුරින් ක්‍රියා කරමින් සිටිති. 

මේ අනුව අවබෝධ නොකර ගත් ඉස්ලාමීය නීතීන් තුළ ඉද්දාව ද එක් කරුණකි. ඇතැමුන් ඉද්දාවෙහි නීති රීති නිසි අයුරින් වටහා නොගෙන දැඩි නිතී රීති පනවා හිර කර ගනිති.

එබැවින් මෙය ප්‍රායෝගික ඉටු කළ නොහැකි පිළිවෙතක් යන නිගමනයට එළැඹ මුස්ලිම්වරු දින හතළිහක් ඉද්දාවෙහි නාමයෙන් කුමක් හෝ දෙයක් ඉටු කරමින් ඉද්දා අවසන් කර ඇතැයි යන තීරණයට එළැඹෙති.

මෙවැනි වැරදි ක්‍රියාවන්ගෙන් මුස්ලිම් සමාජය ගොඩ ගත යුතු නම් ඉද්දා පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. මේ අනුව මේ පොත කාලයාගේ අවශ්‍යතාවකි. කාන්තාවන් ඉද්දා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබීමට මෙම පොත් පිංචය මහත් සේ උපකාර වනු ඇත.

මෙම පොත් පිංචය  සත්‍යයේ හඬ නමින් අර්ථවත් වන “සත්‍ය කුරල්“ නම් දමිළ සඟරාවෙහි කර්තෘ හා ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මුහම්මදිය්යා සංවිධානයේ කැඳවුම් කරුවෙකු වන එම්.එස්.එම් ඉම්තියාස් යූසුෆ් සලෆි යන අය විසින් සංස්කරණය කරන ලද්දකි.

  තම ලේඛන හැකියාව හා චතුර කථිකත්වය තුළින් ඉතා තැන්පත් පිළිවෙතකින් ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටින මෙතුමා තම තුන් වැනි පොත් පිංචය වන මෙය ඔබගේ දෝතට පත් කර ඇත. 

පොතෙහි කර්තෘවරයාගේ මෙම මෙහෙය ප්‍රශංසාවට ලක් කරන අතරම සියලු දෙනා එතුමාගේ ලේඛන මෙහෙයට දිරිය හා සහයෝගය ලබා දිය යුතු යැයි ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

එස්.එච්.එම් ඉස්මාඊල් සලෆි (බී. ඒ)

කර්තෘ  - උන්මෙයි උදයම් සඟරාව

හැඳින්වීම

සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය.

ඉස්ලාම් දහම ඉතා පහසු පිළිවෙතකි. ප්‍රායෝගික දහමකි. නමුත් බහුතර මුස්ලිම් ජනයා ඉස්ලාම් නීති රීති පිළිබඳව නිසි අයුරින් වටහා නොගෙන කටයුතු කරමින් සිටිති. ඉස්ලාමයේ නොමැති ඉස්ලාමීය නීතියට අදාළ නොවන, එයට පටහැනි කරුණු වල ඉස්ලාමයේ නාමයෙන් නිරත වෙමින් සිටිති.

මේ සඳහා වූ මූලික හේතුව වනුයේ මුස්ලිම්වරු හා මුස්ලිම්වරියන් ඉස්ලාමයේ මූලාශ්‍ර වන අල්-කුර්ආන් හා නබි තුමාණන්ගේ සුන්නාහ්ව නිසි අයුරින් අවබෝධ කර නොගැනීමත් ඒ සඳහා උත්සාහ නොදැරීමත් වේ. එමෙන්ම අල්-කුර්ආන් හා සුන්නාහ්ව පදනම් කර ගනිමින් ඉස්ලාම් නීති රීති වලට වැදගත් කමක් පිරිනොනමා සම්ප්‍රදායෙහි පවතින කරුණු හා පාරම්පරිකව කරමින් පැවතුණු කරුණු වලට ප්‍රමුඛත්වය ලබා දී එය දහම යැයි සිතා පිළිපදිමින් පැමිණීම ද තවත් එක් හේතුවකි.

කුර්ආන් සුන්නාහ්වට පටහැනිව වැරදි අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින කටයුතුවලින් ඉද්දා යන වගකීම ද එකකි. ඉද්දා පිළිබඳව මුස්ලිම් කාන්තාවන්ට හා පුරුෂයින්ට ප්‍රමාණවත් දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව අප දකින්නෙමු.

‘ස්වාමි පුරුෂයා මරණයට පත් වූයේ නම් මාස හතරක් හා දින දහයක් බිරිය සුදු ඇඳුමින් සැරසී කිසිවකුගේ දෑසට නොපෙනෙන සේ ළදරු වයසේ පසු වන පිරිමි දරුවෙකු පවා නොදකින සේ කාමරයකට කොටු වී සිටීමත් නියමිත එම දිනයන් අවසන් වන තෙක් වැදූ පියාණන් හා එක කුස උපන් සහෝදරයින්ව පවා ඍජුව නොබලා සැඟවී සිටීම ඉද්දා යැයි පවසා ඇතැම් ක්‍රියාදාමයන් සිදු කරමින් පවතී. තවත් සමහරුන් දින හතළිහක් පමණක් නිවසෙහි රැඳී සිට බැහැර වී යති.

ඉද්දාවෙහි නාමයෙන් මෙවැනි ක්‍රියාවලියක් පොදුවේ දකින්නට පුළුවන. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවලීන් දෙස අවධානය යොමු කරන විට මොවුනට ඉද්දා යනු කුමක් ද යන්න පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති බව වටහා ගත හැක.

ඉද්දාවෙහි නාමයෙන් ඉස්ලාමීය නීතීන් හෑල්ලුවට ලක් කරනු ලබයි. කාන්තාවන් පීඩාවට ලක් වෙති. අපහසුතාවට භාජනය වෙති. මේ හැර ඔවුන් වෙන කිසිවක් සිදු කළේ නැත. ඔවුන්ගේ මෙම වැරදි ක්‍රියාවන්ට ඉස්ලාමීය වර්ණ ගැන්වීම දරා ගත නොහැක්කකි.

ඉද්දා යනු කාන්තාවන් සම්බන්ධ නීතියකි. කාන්තාවන් විසින් ක්‍රියාත්මක කළ යුතු නීතියකි.  එම නීතිය පිළිබඳව ඔවුනට නිසි අවබෝධයක් නොමැති හෙයින් ඔවුන් මෙම පීඩාකාරී තත්ත්වයට භාජනය වී සිටිති.

එපමණක් නොව සැමියාගේ මරණයෙන් පසු ඉද්දා ඇති බව වටහා ගෙන ඇත්තාක් මෙන්ම තලාක් හෙවත් දික්කසාදය කදී ද ඉද්දා සිටිය යුතු බව වටහා ගෙන නැත.

එබැවින් ඉද්දා පිළිබඳව නිවැරදි විග්‍රහයක් අල්-කුර්ආන් හා නබි තුමාණන්ගේ මඟ පෙන්වීම පරිදි ලබා දිය යුතුයි. එමෙන්ම එම නාමයෙන් ජවනිකාගත කරමින් තිබෙන වැරදි ක්‍රියාවලිය පෙන්වා දිය යුතුයි යන චේතනාවෙන් මෙය මා ලියමි.

ඉද්දාවෙ හි නීතිය  හා තලාක් හි නීතිය ලිවීමට හැකියාව හා ඥානය පිරි නැමූ උත්තරීතර අල්ලාහ්ටම සියලු පැසසුම් ඉතා කෙටියෙන් මා මෙය සංස්කරණය කර පැහැදිලි කර ඇත්තෙමි. මෙමගින් පාඨකයින් ප්‍රයෝජනය ලබනු ඇතැයි මම විශ්වාස කරමි.

සියලු දෑට වඩා මෙම පොත ලිවීමට හැකියාව ඥානය හා සුවය පිරි නැමූ කරුණාභරිත අල්ලාහ්ටම සියලු කෘතඥතාවන් හිමිය.

 

ඉද්දා යනු කුමක් ද?

ඉද්දතුන් عِدَّةَ යන අරාබි වදන ඉද්දා යනුවෙන් උච්චාරණය කිරීමට පහසු වන සේ  පැවසේ 

ඉද්දා යන්නට අරාබි වචනය ගණන් ගැනීම ගණන් බැලීම ගණනය කිරීම යන අර්ථ වේ. 

ඉංග්‍රීසියෙන් COUNTING ගණන් කිරීම යනුවෙන් පවසනු ලැබේ. එනම් 1,2,3,4,5,6... යනුවෙන් ගණන් බැලීම ඉද්දා යනුවෙන් හැඳින් වේ. මේ අදහසින් අල්-කුර්ආනයේ හා නබි වදන් හි ඉද්දා යන වදන භාවිත වී ඇත.

وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ යම් ගමනක යෙදී සිටින්නේ නම් හෝ වෙනත් දිනයන් (අත පසු වූ උපවාසය සඳහා) ගණනයට ගත යුතුය. අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරත්වය අපේක්ෂා නොකරයි. (මේ සියල්ල) නුඹලා (අත පසු වූ) එම දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද නුඹලාට යහමඟ පෙන් වූ හෙයින් අල්ලාහ්ට ශ්‍රේෂ්ඨත්වය කියා පෑම පිණිස ද වේ. (එවිට) නුඹලා කෘතවේදී විය හැක්කේය.                                                                       (අල්-කුර්ආන් 2:185)

මේ වැකියෙහි රමළානයෙහි අත පසු වූ උපවාසයන් ගණන් බලා එය නැවත ඉටු කිරීම පෙන්වා දීම පිණිස ඉද්දා යන වචනය අල්ලාහ් යොදා ඇත.

إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ

අහස් හා මහ පොළොව මැවූ දින පටන් අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි මාස වල ගණන අල්ලාහ් අබියස දොළොසකි.   (අල්-කුර්ආන් 9:36)

එක් වසරක් සඳහා මාස වල ගණනය යන වදන පෙන්වා දීම සඳහා ද ඉද්දා යන වචනය යෙදී ඇත.

ගුහා වැසියන්ගේ ඉතිහාසය අල්ලාහ් පවසන විට

قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ

(ගුහාවෙහි විසූ) ඔවුන්ගේ සංඛ්‍යාව පිළිබඳව මැනවින් දන්නා මාගේ පරමාධිපතිය යැයි නබි වරය පවසවු.                             (අල්-කුර්ආන් 18:22)

ගුහාවෙහි කොපමණ දෙනෙක් ලැගුම් ගත්තා ද? පස් දෙනෙකු ද හය දෙනෙකු ද? හත් දෙනෙකු ද? අට    දෙනෙකු ද? යන සංඛ්‍යාව පෙන්වා දීම පිණිස  ඉද්දා යන වදන අල්ලාහ් භාවිත කර ඇත.                            

وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا

නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් හැර (වෙන කිසිවෙකු) අප පත් නොකළෙමු. ඔවුන්ගේ සංඛ්‍යාව ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙසට පත් කළෙමු.               (අල්-කුර්ආන් 74:31)

නිරයේ භාරකරුවන් ලෙස සිටින මලක්වරුන්ගේ සංඛ්‍යාව පෙන්වා දීමට ද ඉද්දා යන වචනය අල්ලාහ් භාවිත කර ඇත.

එබැවින් ඉද්දා යනු ගණන් බැලීම යන්න එහි ඍජු අර්ථය බව ප්‍රථමයෙන්ම වටහා ගත යුතු වේ.

එලෙසම විභාගයට පෙනී සිටි සිසුවෙකු එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් නියමිත දින ගණනක් හෝ මාස ගණනක් හෝ ගෙවී යන තෙක් බලාපොරොත්තු වෙන් පසු වෙයි.

විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් වීසා පැමිණෙන තෙක් නියමිත දින ගණනක් බලාපොරොත්තුවෙන් පසු වෙයි.

රැකියාවක නිරත වන්නා තම වේතනය ලබා ගැනීමට මාස අවසානය පැමිණෙන තෙක් බලා පොරොත්තුවෙන් පසුවෙයි.

මෙලෙස නියමිත දින ගණනක් බලා බලා පොරොත්තුවෙන් සිටීම ඉද්දා යනුවෙන් හැඳින් වේ. 

එබැවින් ඉස්ලාමීය ප්‍රයෝගයේ ස්වාමි පුරුෂයාගේ මරණය වෙනුවෙන් හෝ දික්කසාදය වෙනුවෙන් බිරිය විවාහ නොවී නියමිත දින ගණන අවසන් වන තුරු බලාපොරොත්තුවෙන් සිටීම ඉද්දා යනුවෙන් හැඳින් වේ.

නොයෙකුත් වර්ගීකරණයෙන් යුත් මෙම ඉද්දා පිළිබඳ විස්තර ගැන දැන් අපගේ අවධානය යොමු කරමු.

 

ස්වාමි පුරුෂයාගේ මරණය වෙනුවෙන් ඉද්දා

ඉස්ලාමයට පෙර ජාහිලිය්යා හෙවත් අඥාන යුගයේ ජනයා, ස්වාමි පුරුෂයා මරණයට පත් වැන්දඹු කාන්තාව ඉද්දා නමින් වසරක් අවසන් වන තුරු ඔවුන් සමග වූ සියලුම සම්බන්ධතාවන් විසන්ධි කර නිවසින් බැහැරව වෙන් කර තබති. වසරක් සම්පූර්ණ වීමෙන් පසුවය නැවත ඔවුන් සමග සම්බන්ධකම් පවත්වා ගනුයේ.

මේ පිළිබඳව ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය පහත සඳහන් පරිදි වාර්තා කරන්නීය. ‘ස්වාමි පුරුෂයා මරණයට පත් වූ පසු බිරිය එක් කුඩා පැල්පතකට ඇතුළු වී අප්‍රසන්න ඇඳුමක් ඇඳ ගන්නීය. මෙලෙස වසරක් ගත වන තුරු කිසිදු සුවඳක් නොඅල්ලන්නීය.

වසරක් ගත වූවායින් පසු බූරුවෙකු හෝ එළුවෙකු හෝ පක්ෂියෙකු ගෙන එහි ශරීරය තම ශරීරයෙහි දැඩි ව අතුල්ලා ගන්නීය. එලෙස ඇය අතුල්ලා ගන්නා කිසිදු ප්‍රාණියෙකු ඇයගේ ශරීර අපිරිසිදුතා හේතුවෙන්  නොමැරී සිටීම ඉතා අල්පය. 

පසුව ඇය එම පැල්පතෙන් එළියට පැමිණෙන්නීය. එවිට ඇය වෙතට ඔටු අසූචි ගෙන එනු ලබයි. ක්ෂණිකව ඇය එය තමන් ඉදිරියේ විසි කර දමන්නීය. මෙයමය ඇයගේ වසරක කාලයක් ඉද්දා අවසන් වීම සඳහා වූ සලකුණ වනුයේ. පසුව ඇය කැමති සුවඳ විලවුන් හෝ වෙනත් දෙයක් හෝ සුපුරුදු පරිදි භාවිත කරන්නීය.               (බුහාරි: 5337)

ස්වාමි පුරුෂයා මරණයට පත් වූ ශෝක ජනක තත්ත්වයේ පසු වන වැන්දඹු කාන්තාවන් පවුලෙන් බැහැර කරනු ලැබ නියමිත ඇඳුමක් අන්දවනු ලැබ තනිව එක් පැල්පතක සිර ගත කර අප්‍රසන්න අයුරින් ක්‍රියා කරන්නට සලස්වමින් සිටි විට එම අප්‍රසන්න භාවයෙන් හා අපරාධයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීම උදෙසා මුල් පියවර ලෙස නීතියක් ඉස්ලාම් ගෙන ආවේය.

ස්වාමි පුරුෂයා අහිමි වූ කාන්තාව තනි පංගලමේ පැල්පතක වෙන් කර  නොතබා ඇය සමඟ වූ සම්බන්ධතා විසන්ධි නොකර ස්වාමි පුරුෂයාගේ නිවසෙහිම නවාතැන් සලස්වා නඩත්තු කළ යුතු වේ. ස්වාමි පුරුෂයා මේ පිළිබඳව අන්තිම කැමැත්ත තම ඥාතීන්ට පවසා සිටිය යුතුය යන නීතිය පහත සඳහන් අයුරින් පහළ විය. 

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

නුඹලාගේ බිරියන් අත හැර දමා මරණයට පත් වන අවස්ථාවේ සිටින උදවිය තම බිරියන් (නිවසින්) බැහැර නොකර වසරක් දක්වා නඩත්තු කරන මෙන් (පවුලේ ඥාතීන් වෙත) අන්තිම කැමැත්ත (වසීය්යත්) කළ යුතුයි. එනමුත් තමන් විෂයෙහි යහපත උදෙසා ඔවුන් විසින්ම (බිරියන්) බැහැර වූයේ නම් නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය.               (අල්-කුර්ආන් 2:240)

මෙම වැකිය මගින් ජාහිලිය්යා යුගයේ ඉද්දාවෙහි නාමයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති අපරාධයන් ඇතුළු සියලු ආකාරයේ මිත්‍යා ගති පැවතුම් වලින් කාන්තාවන් මිදී ගෞරවය ද හිමි ව ඔවුන්ගේ ආරක්ෂාව හා නඩත්තුව ගැන ද ප්‍රතිඥා දෙන ලදී. එම වසරක කාලයක් තුළ සැමියාගේ පවුලේ නඩත්තුවෙන් බිරිය බැහැර වී තම නිවස වෙත පිවිසෙන්නේ නම් කිසිදු වරදක් නැතැයි යන නිදහස පිරිනමනු ලැබීය.

ටික කලකට පසුව  වසරක ඉද්දා යන නීතිය වෙනස් කරනු ලැබ සැමිය මිය ගිය විට බිරිය මාස හතරක් හා දින දහයක් ගත වන තුරු විවාහ නොවී බලාපොරොත්තුවෙන් සිටිය යුතු යැයි ඉද්දාවෙහි නව නීතිය පහළ විය.

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

නුඹලාගෙන් කවරෙකු හෝ බිරියන් හැර දමා මරණයට පත් වූයේ නම් එම බිරියන් මාස හතරක් හා දින දහයක් (විවාහ නොවී) අපේක්ෂාවෙන් සිටිය යුතුයි. එම නියමිත කාලය සම්පූර්ණ කළ විට ඔවුන් තමන් විෂයෙහි යහ අයුරින් තීරණයක් ගැනීමෙහි නුඹලා කෙරෙහි කිසිදු වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානීය (අල්-කුර්ආන් 2:234)

අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳව විශ්වාස කළ කවර කාන්තාවක් වුව ද මිය ගිය තැනැත්තෙකු වෙනුවෙන් දින තුනකට වඩා ශෝකයෙන් පෙළීමට අනුමැතිය නැත. නමුත් සැමියා අහිමි කර ගත් කාන්තාවට මාස හතරක් හා දින දහයක් හැර යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.              

(වාර්තාකරු: උම්මු හබීබා -රළියල්ලාහු අන්හා- මූලාශ්‍රය: බුහාරි 5339)

මෙම නීතිය මගින් කාන්තාවට මහිමයත් ගෞරවයත් ලබා දී විවාහ කර ගැනීමේ අයිතියත් ඒ සඳහා තීරණය ගැනීමේ ස්ථාවරයත් පිරිනමා  ඇයගේ ඉද්දා කාලය ද පහසු කර දී ඇත.

 

ගර්භිනී කාන්තාවකගේ ඉද්දා

ස්වාමි පුරුෂයා මරණයට පත්වන අවස්ථාවේ බිරිය ගර්භනී තත්ත්වයේ පසු වන්නී නම් සැමියා මිය ගිද දින පටන් දරුවා බිහි කරන දින දක්වා බිරිය (ඉද්දා) පොරොත්තුවෙන් සිටිය යුතුයි. ඒ අතර කාලය ඉද්දාවෙහි දිනයන් ලෙස ගණන් ගනු ලබනුයේ. දරුවා බිහිකරනවාත් සමගම ඉද්දාවෙහි කාලය ද අවසන් වී යන්නේය.

දරුවා බිහි කිරීමට මාස නවයක් හෝ මාසයක් හෝ සතියක් හෝ දිනයක් හෝ පැයක් හෝ විනාඩි ගණනාවක් හෝ තිබිය දී සැමියා මිය ගිය ද උසුලාගෙන සිටින දරුවා ප්‍රසූත කරන එම අවස්ථාව දක්වා ය ඉද්දාවෙහි දින ගණන් ලෙස ගණන් සලකනු ලබන්නේ. එබැවින් මේ කාන්තාවට මාස 4ක් හා දවස් 10 කාල නියමයක් නොපැවරේ.

 وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ 

ගර්භිනී කාන්තාවන් සඳහා (ඉද්දාවෙහි) පොරොත්තු කාලය ඔවුන් (තමන්ගේ දරුවන්) ප්‍රසූත කරන තෙක් පමණය. (අල්-කුර්ආන් 65:4) 

සුබෙයිආ නම් සහාබි කාන්තාවක් ගර්භිණී තත්ත්වයේ පසු වෙමින් සිටිය දී ඇයගේ සැමියා වන සඃද් ඉබ්නු කව්ලා (රළියල්ලාහු අන්හු) තුමාණන් මරණයට පත් වූහ. සැමියා මිය ගොස් ටික කලකට පසු දරුවා ප්‍රසූත කොට - රාත්‍රී 23 හෝ රාත්‍රී 25 කට පසු - පිරිසිදුතාවට පත් වූ පසු විවාහය සඳහා තමන්ව අලංකාරමත් කර ගත්තාය. එවිට අබුස් සුනාබිල් ඉබ්නු බඃසක් (රළියල්ලහු අන්හු) යන අය පැමිණ මේ කුමක් ද? නුඹ අලංකාරමත් කර ගෙන සිටින්නේ? නුඹ විවාහ වීමට සිතන්නෙහි ද? අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි මාස හතරක් හා දින දහයක් අවසන් වන තුරු නුඹට විවාහ වීමට නෙහැක යැයි පැවසීය. එවිට එම කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ පිළිබඳව විමසා සිටියාය. එයට නබි තුමාණෝ ඔබ ඔබේ දරුවාව ප්‍රසූත කිරීමත් සමඟම (ඉද්දා අවසන් විය.) විවාහ වීමට සුදුස්සියක් වූවෙහිය යනුවෙන් තීන්දු කළහ. 

(වාර්තාකරු: සුබෙයිආ -රළියල්ලාහු අන්හු- මූලාශ්‍රය: මුස්ලිම් 1484)

මේ අර්ථය පසුබිම් කර ගත් ඇතැම් වදන් බුහාරි (5318) හි ද සඳහන් වී ඇත. ඇතැම් වාර්තා වල සැමියා මිය ගොස් රාත්‍රි ගණනාවක් ගත වූ පසු සුබෙයිආ (රළියල්ලාහු අන්හු) දරුවා ප්‍රසූත කළ බවට ද ඇතැම් වාර්තා වල එම රාත්‍රී ගණන රාත්‍රී 15 ක් ලෙසත් රාත්‍රී 20ක් ලෙසත් සඳහන් වී ඇත. (මූලාශ්‍රය මුස්ලිම් 1485 නසාඊ 3508-3510)

අබ්දුල්ලාහ් ඉබ්නු උත්බා බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් පවසා සිටිනුයේ

මම උමර් ඉබ්නු අබ්දුල්ලාහ් බින් අර්කම් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට අස්ලම් ගෝත්‍රයට අයත් සුබෙයිආ (රළියල්ලාහු අන්හා) තුමිය වෙත ගොස් ඇයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් (ගර්භිණී කාන්තාවකගේ ඉද්දා පිළිබඳව) කවර තීන්දුවක් ලබා දුන්නේ දැයි විමසා සිටින මෙන් ලිපියක් ලිව්වෙමි. එවිට (සුබෙයිආ රළියල්ලාහු අන්හා) තුමිය (පිළිතුරු වශයෙන්) ඔබ දරුවා ප්‍රසූත කරනවාත් සමඟම (ඉද්දාව ද අවසන් විය) විවාහයක් කර ගන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මට තීන්දු කළහැයි පැවසුවාය. (බුහාරි 5319)

මිස්වර් බින් මක්රමා (රළියල්ලාහු අන්හු) පවසා සිටිනුයේ.

තම සැමියා මියගොස් දින කිහිපයකට පසුව සුබෙයිආ (රළියල්ලාහු අන්හා) තුමිය (දරුවා ප්‍රසූත කොට) පිවිතුරු භාවයට පත් වූවාය.  පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත ගොස් විවාහයක් කර ගැනීමට අවසර ඉල්ලා සිටියාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අවසර දුන්හ. ඇය (කෙනෙකුව) විවාහ කර ගත්තාය.                                                                                     (බුහාරි - 5320)

සැමියා මරණයට පත් වී ඔහුගේ දේහය තවමත් භූමදානය නොකළ තත්ත්වයේ පසු වන්නේ නම් ගර්භිණී තත්ත්වයේ පසු වන බිරිය දරුවා ප්‍රසූත කළේ නම් එවිට ඇයට ඉද්දා නොමැතැයි උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් පැවසූහ. (මූලාශ්‍රය මුඅත්තා 1226)

දරුවා ප්‍රසූත කළ පසු සැමියා මරණයට පත් වූයේ නම් මාස හතරක් හා දින දහයක් ඉද්දා සිටිය යුතුයි.

 

ගබ්සාවට ලක් වූ කාන්තාවකගේ ඉද්දා

සැමියා මරණයට පත් වූ අවස්ථාවේ බිරිය ගර්භිණී තත්ත්වයක පසු වන්නී නම් දරුවා ප්‍රසූත කිරීමත් සමඟම ඉද්දා කාලය ඉවසන් වන බව ඉහත දී අපි පැහැදිලි කළෙමු. උසුලා ගෙන සිටින කළලය කේන්ද්‍ර කර ගනිමින් නීතිය පවසා ඇත. එම කලලය කේන්ද්‍ර කර ගනිමින් ගබ්සාවට ලක් වූ කාන්තාවකගේ නීතිය ද ගනු ලැබේ.

එබැවින් ගැබ් ගත් කාන්තාව ඉද්දාවෙහි පසු වන කාලයේ යම් කිසි අවස්ථාවක (අනතුරිකින් හෝ වැටීමෙන් හෝ) ගබ්සාවට පත් වූ විට එවිට ඇයට නියමිත ඉද්දාව ද අවසන් වෙයි.

නමුත් සැලසුම් සහගතව ගබ්සාවක් කිරීම හෝ ගැබතුළ කිසිවක් නැතැයි සැඟවීම හෝ මහා පාපයකි. ගැබ තුළ අල්ලාහ් මවා ඇති දෑ සැඟවීමට ඔවුන්ට කිසිදු අනුමැතියක් නැතැයි අල්-කුර්ආන් 2:228 වැනි කුර්ආන් වැකියේ අවවාදය සැලකිල්ලට ගෙන ක්‍රියා කළ යුතු වේ.

 

දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දා              

දික්කසාද කරනු ලැබූ කාන්තාවන් දෙවර්ගයකි.

  1. විවාහ වී අඹු සැමි ඇසුරට පෙර දික්කසාද කරනු ලැබූ කාන්තාව.
  2. විවාහ වී අඹු සැමි ඇසුරට පසු දික්කසාද කරනු ලැබූ කාන්තාව.

මේ දෙවර්ගයේ කාන්තාවන්ගේ ඉද්දාව විවිධාකාරය.

 

විවාහ වී අඹු සැමි ඇසුරු කිරීමට මත්තෙන් දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දා

මේ කාන්තාව සඳහා ඉද්දා ක්‍රමය කෙසේ ද? යන්න ගැන අවධානය යොමු කිරීමට පෙර මෙවැනි තලාකයක් සිදු වීමට හේතු වූ කරුණු මොනවාදැයි මෙහි කෙටියෙන් පැහැදිලි කිරීම සදුසු යැයි සිතමි.

ඇතැම් විවාහයන් දරුවන්ගේ කැමැත්තට අනුව සිදු වෙයි. ඇතැම් විවාහයන් දරුවන්ගේ කැමැත්ත විමසා නොබලාම  සිදු වෙයි. පවුල් ජීවිතයට ඇතුළත් වන දෙ හදවත් එකිනෙකාගේ කැමැත්ත අනුව විවාහය සිදු විය යුතු යැයි ඉස්ලාමයේ නියෝගයයි. එසේ පැවසීමෙන් ආදර විවාහයන් ඉස්ලාම් දිරිගන්වන්නේය යන අදහස අර්ථවත් නොවෙයි. ඇතැම් දෙමාපියන් තමන්ගේ කැමැත්ත පරිදි දරුවන්ට සහකාරයෙක් හෝ සහකාරියක් තෝරා ගෙන විවාහය තීන්දු කරති. ඔවුන් තෝරා ගත් මනමාලයා හෝ මනමාලිය විවාහ වන්නට යන තමන්ගේ දරුවන් ඉදිරියේ පෙන්වා කැමැත්ත අසා දැන ගන්නේ ද නැත. මා ඇන්ද ඉර මාගේ දරුවන් තරණය නොකරන්නේ යැයි පවසා දරුවන්ට විවාහය සිදු කර දෙති.

විවාහය පිළිබඳව සලකා බැලීමේ දී සෑම පිරිමියෙකුම කාන්තාවකම තමන්ගේ අනාගත සහකාරිය හෝ සහකරු කෙසේ සිටිය යුතු ද? කවර ස්වරූපයෙන් සිටිය යුතු දැයි යන්න වර්ණනාවක් හෝ සිතුවිල්ලක් තම හදවත් තුළ ගොඩ නගමින් සිටිති. මුහුදු වෙරළේ සඳ දෙස බලා රස විදනවාක් මෙන් තමන්ගේ මනසෙහි ගොඩ නගා ගත් බලකොටුව තුළ තිබූ අනාගත ජීවන බලාපොරොත්තු පිළිබඳ රස විදිමින් සිටිති. ගොඩ නැගෙන්නට යන ජීවිතයේ සතුට සිතමින් හීන දකිති. එම හීනයන් හා බලාපොරොත්තු පිළිබඳව තනිව සිට සතුටු වෙති. විවාහය තීන්දු කරන අවස්ථාවේ විවාහ වන්නට යන දෙදෙනාම එකිනෙකා මුහුණට මුහුණලා දැක බලා ගැනීමට අවස්ථාව දෙමාපියන් ඉදිරියේ සලසා දිය යුතුයි.

සැමියා හා බිරිය ලෙසින් ගොඩ නැගෙන්නට යන දෙ හදවත් මුහුණට මුහුණලා දැක බලා ගන්නා විට ඔවුන් ඒ වන තෙක් දුටු හීන හා බලාපොරොත්තු සඳහා පිළිතුරු සැපයෙනු ඇත. දෙදෙනාම කැමැත්ත පළ කර සිටියේ නම් එම විවාහය සිදු කළ යුතුයි. කැමැත්ත පළ කර නොසිටියේ නම් විවාහය නතර කළ යුතුයි.

ඇතැම් දෙමාපියන් විවාහයක් කතා කිරීමේ දී ජීවන සහකරුවෙකු ලෙස පත් වන්නට යන මනමාලයා හෝ මනමාලිය මුහුණට මුහුණලා දැක බලා ගන්නට තම දරුවන්නට අවස්ථාව ලබා නොදෙති. ඒ ඇයි දැයි ඔවුන්ගෙන් විමසූ විට එසේ බැලීම නුසුදුසුය. තහනම්ය යැයි පවසති.

ඇතැම් දෙමාපියන් මුහුණට මුහුණලා දැක ගැනීමට අනුමැතිය ලබා නොදී ඡායාරූපයක් පෙන්වා අනුමැතිය ඉල්ලා සිටිති නැතිනම් විවාහ කර දෙති.

මෙමගින් දරුවන්ගේ බලාපොරොත්තු සුන් වී යයි. එ‍මෙන්ම ඔවුන්ගේ ජීවිත ද විනාශ වී යයි.

ඡායාරූපයේ ඇති ලස්සන බලා විවාහ වූවායින් පසු මුල් රාත්‍රියෙහි ඍජුවම සැබෑ මුහුණ දකින විට ප්‍රශ්න මතු වෙයි. කැමරාව ඉදිරියේ සිටින විට මුහුණ අලංකාර කරමින් ඒ වෙනුවෙන් රූපලාවන්‍ය කලමනා භාවිත කර මුහුණෙහි ඇති අඩු පාඩු සැඟවීමෙන් පසුවය ඡායාරූපය ගනු ලබන්නේ. ස්වභාවික මුහුණ සඟවා කෘතිම ලෙස (අලංකාර ස්වරූපයෙන්) ව්‍යාජ මුහුණක ස්වභාවයන් ගෙන දෙයි. ශරීරයේ ඇති අඩු පාඩු පවා සඟවයි. වයස්ගත වූ ස්වරූපය සඟවා අඩු වයස් කාරියක ස්වරූපයක් ගොඩ නගයි.  

ඡායාරූපයක දිස් වූ ව්‍යාජ භාවය ඉවත් වී නියම ස්වරූපය මංගල රාත්‍රියෙහි දකින විට ජීවිතය ගරා වැටෙයි. දික්කසාදය පැමිණ ඉදිරියෙන් සිටියි. 

මුහුණට මුහුණ ලා එකිනෙකා දැක බලා ගන්නා විට රවටාලීමට අවස්ථාවක් නොලැබී යයි. අවයවයන් හි හෝ ස්වරූපයේ යම් කිසි අඩුවක් වුව ද උස මිටි යන අඩුපාඩුකම් තිබුණ ද එසේත් නැතිනම් වෙනයම් අඩුපාඩුවක් තිබුණ ද දැන ගන්නට හැකි වෙයි. මෙලෙස කටයුතු කිරීමෙන් විවාහයෙන් පසු පැමිණෙන බොහෝ ප්‍රශ්න වළක්වාලීමට අවස්ථාව සැලසෙන අතරම දරුවන්ගේ කැමැත්ත අකැමැත්ත වටහා ගත හැකි වෙයි.

කවර දෙමව්පියන් වුව ද තමන්ගේ දරුවන්ගේ ජීවිත දික්කසාදයෙන් අවසන් වීම ප්‍රිය නොකරති. නමුත් දික්කසාදය ඇති වීමට (ඇතැම් අවස්ථා වල) ඔවුන් පවා හේතු කාරක වෙති.  දරුවන්ගේ කැමැත්තෙන් තොරව විවාහ කර දීමත් විවාහයට පෙර මනමාලයා හෝ මනමාලිය මුහුණට මුහුණ ලා ඍජු ලෙස නොපෙන්වා කැමැත්ත නොගෙන විවාහ කර දීමත් දික්කසාදයට හේතු වෙයි. සෑම පිරිමියෙකු හා සෑම කාන්තාවක්ම බලාපොරොත්තුවෙන් සිටි අපේක්ෂාවන්ට පටහැනි බිරියක හෝ සැමියෙකු පත් වී සිටිනු දුටු විට ඔවුන්ගේ ජීවිතයෙහි සුළී කුණාටු හමන්නට පටන් ගනී. එහි අවසානය දික්කසාදය වේ.

විවාහ වන්නට යන පිරිමියා හා කාන්තාව එකිනෙකා මුහුණට මුහුණ ලා දැක බලා ගත යුතුයි. කැමැත්ත ලබා ගත යුතුයි යන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගය සැලකිල්ලට නොගත් නිසා මෙවැනි වාතාවරණයක් ඇති වෙයි.

විවාහයක් යෝජනා කිරීමේ දී ඉස්ලාම් තහනම් කර තිබෙන දෑවැද්ද පිළිබඳව ද තීන්දුවකට එළැඹෙති. විවාහ දින හෝ එදින මුල් රාත්‍රියෙහි එම දෑවැද්ද ඒ සමඟම වූ ලියකියවිලි මනාලයාගේ නිවැසියන්ට භාර දිය යුතු වේ. එසේ නොමැතිනම් මනාලයා එහි නොපැමිණෙයි. ඒ මොහොතේම බෙදීම් ද ඇති වෙයි.

එසේත් නොමැති නම් විවාහ දින සැමියා පිළිබඳව හෝ බිරිය පිළිබඳව හෝ එසේත් නොමැති නම් පවුල පිළිබඳව හෝ වැරදි සහගත ආරංචි මාර්ග අසන්නට ලැබී එය තහවුරු වූ විට එම අවස්ථාවේ ද ප්‍රශ්න මතු විය හැක. මෙවැනි අවස්ථාවන් හි දික්කසාදය ප්‍රථම රාත්‍රියෙහි පවා සිදු විය හැක.

එසේත් නොමැතිනම් අකමැත්ත හෝ නොගැළපී හේතූ කර ගනිමින් ටික දිනක් හෝ මාස කිහිපයක් හෝ වසර කිහිපයක් හෝ ගත වූවායින් පසුව දික්කසාදය සිදු වෙයි. ලියාපදිංචි ලේඛනයේ පමණක් ස්වාමි පුරුෂයා හා භාර්යාව යන අයිතිය පවතිනවා හැර ජීවිතයේ සම්බන්ධතා නොපවතී. බාහිර ලෙස ස්වාමි පුරුෂයා හා බිරිය ලෙස දර්ශනය වුව ද  අභ්‍යන්තරව වෙන් වී ජීවත් වෙති. තව දුරටත් පවසන්නේ නම් දෙදෙනාම අඹු සැමි ඇසුරුකම් නොපවත්වති. ඇසුරට අවස්ථාවද නොදෙති.

බොහෝ අයගේ විවාහ ජීවිතය කඩාකප්පල් වීමට ඉහත සඳහන් කරුණු හා වෙනත් ඇතැම් කරුණු ද බලපානු ඇත.

මේ තත්ත්වයේ ස්වාමියා භාර්යාව දික්කසාද කළේ නම් එනම්   විවාහ වී ඇඹු සැමි ඇසුරකින් තොරව දික්කසාද කළේ නම් එම කාන්තාවට ඉද්දා කිසි විටක නියම නොවෙයි.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا

විශ්වාසවන්තයිනි, නුඹලා දේව විශ්වාසවන්තනියන් විවාහ කර ගෙන පසුව නුඹලා ඔවුන්ව ස්පර්ශ කිරීමට (සංසර්ගයේ නිරත වීමට) පෙර තලාක් (දික්කසාදය) පැවසුවහොත් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි (බලාපොරොත්තුවෙන් සිටින) ඉද්දා කිසිවක් නොවෙයි.  (අල්-කුර්ආන් 33:49)

 

අඹු සැමි ඇසුරෙන් පසු දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දා

විවාහ වී අඹු සැමි ඇසුරෙහි ද නියැළී පවුල් ජීවිතයක් ගත කරන අවස්ථාවක ස්වාමියා විසින් භාර්යාව දික්කසාද (තලාක්) පවසා සිටියේ නම් ඇයගේ ඉද්දා කාලය වනුයේ තෙවතාවක් ඔසප් තත්ත්වයට භාජනය වී පසුව පිවිතුරු භාවයට පත් වන තුරුය. 

وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُوا إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللهُ عَزِيزٌ حَكِيمٌ

(තලාක්) දික්කසාද පවසනු ලැබූ කාත්නාවන් ඔසප් කාල තුනක් අවසන් වන තුරු (තවත් විවාහයක් නොකර) බලා පොරොත්තුවෙන් සිටිය යුතුයි. අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳව ඔවුන් විශ්වාස කරන්නියන් නම් තම ගැබ තුළ අල්ලාහ් බිහි කර ඇති දෑ සැඟවීමට ඔවුනට අනුමැතියක් නැත. දෙදෙනාම යහපත පතන්නේ නම් ඔවුන්ගේ පුරුෂයින් ඔවුන්ව නැවතත් සම්බන්ධ කර ගැනීමේ අයිතිය ඇත්තන් වන්නේය.

කාන්තාවන්ට උරුමය ඇත්තාක් මෙන්ම ඔවුන්ටත් උරුමයන් යහ අයුරින් පිහිටා ඇත. ඔවුන්ටත් වඩා පුරුෂයින්ට උසස් භාවයක් ඇත. අල්ලාහ් අති බල සම්පන්නය. සර්ව ප්‍රඥාවන්තය.               (අල්-කුර්ආන්2:228)

මේ වාර තුනක ඔසප් කාලය ඇතැම් විටක දීර්ඝ වන්නට ද පුළුවන ඇතැම් විටක අඩු වන්නට ද පුළුවන කාන්තාවකගේ ශරීර පැවැත්ම අනුව මෙය සිදු වේ. එබැවින් මෙහි සඳහන් දින ගණන් අනුව හෝ මාස ගණන් අනුව හෝ ගණන් ගනු නොලැබේ.  ඇයගේ ඔසප් කාල තුන ද ඉන් පිවිතුරු වන කාල සීමාව ද ඔවුන්ගේ ඉද්දාවෙහි කාල පරිච්ඡේදය වශයෙන් ගණන් ගනු ලැබේ.

මෙලෙස වාර තුනක ඔසප් තත්ත්වයේ සිට පිවිතුරු භාවයට පත් වන කාල පරිච්ඡේදයේ බලාපොරොත්තුවෙන් සිටිය දී සැමිය තම බිරිය සමඟ එක් වී ජීවත් විය යුතු යැයි යහපත පතන්නේ නම් බිරිය ද එයට එකඟ වූවා නම් එම වාර තුනක ඔසප් කාලය අවසන් වීමට පෙර දෙදෙනාම එක්ව ජීවත් විය හැක.

වාර තුනක ඔසප් කාලය සම්පූර්ණ කළ යුතු යැයි හෝ ඉද්දාවෙහි දින ගණන් අවසන් විය යුතු යැයි හෝ එසේත් නැති නම් එසේ සිදු කළ නොයුතු යැයි හෝ ඉස්ලාමයේ කිසිදු තහනමක් නැත. එක් වී ජීවත් වන්නට සිතූ විටක බිරිය (හෝ වෙනත් අය) ඉද්දා පිළිබඳව දුක් වීමට අවශ්‍යතාවක් නොවෙයි. සතුටින් ජීවත් විය යුතුයි. මෙයමය ඉහත සඳහන් වැකියත් පහත සඳහන් වන වැකියත් පෙන්වා දෙනුයේ. මෙම නීතියට තලාක් රජ්ඊ යනුවෙන් හැඳින් වේ.

 

وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا وَمَنْ يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلَا تَتَّخِذُوا آَيَاتِ اللَّهِ هُزُوًا وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ 

නුඹලා (නුඹලාගේ) භාර්යාවන්ට (තලාක්) දික්කසාදය ප්‍රකාශ කළේ නම් ඔවුන් තම (ඉද්දා) පොරොත්තු කාලයේ අවසානයට ළඟා වීමට මත්තෙන් ඔවුන්ව ක්‍රමානුකූලව (භාර්යාව) වශයෙන් එක් කර ගන්න. නැතිනම් යහ අයුරින් මුදවා හරින්න.

ඔවුන්ට හිංසා කරමින් සීමාව ඉක්මවා කටයුතු කිරීම සඳහා ඔවුන්ව රඳවා නොගනිවු. එසේ සිදු කරන්නා තමන් තමන් හටම අපරාධයක් කර ගත්තේය. අල්ලාහ්ගේ වැකි හෑල්ලුවට නොගන්න. අල්ලාහ් නුඹලාට ප්‍රදානය කර ඇති දායාදයන් ගැන ද නුඹලා වෙත පහළ කළ පුස්තකය හා ප්‍රඥාව ගැන ද මෙනෙහි කරන්න.  අල්ලාහ්ට බිය භක්තිමත් වන්න. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව මැනවින් දාන්නා බව දැන ගන්න.                                                                       (අල්-කුර්ආන් 2:231)

බිරිය ඔසප් වාර තුනක සිට පිරිසිදු භාවයට පත් වන තුරු බලාපොරොත්තුවෙන් සිටින එම කාල පරිච්ඡේදය තුළ එක් වී ජීවත් වන්නට එකඟ නොවූයේ නම් ඔසප් කාලයේ සිට භාර්යාව ද පිවිතුරු වූවා නම් ඔවුන් අතර පැවතුණු ස්වාමි පුරුෂයා හා භාර්යාව යන බන්ධනය විසන්ධි වී යනු ඇත. ඉන් පසුව දෙදෙනාම නැවත එක් වී ජීවත් වන්නට අපේක්ෂා කළේ නම් ඔවුන් වෙනත් විවාහයක් කර ගත යුතු වේ. එනම් නිසි අයුරින් සාක්ෂි භාරකරුවන් ඉදිරිපත් කර මහර් ද නියම කර විවාහයක් සිදු කර ගත යුතු වේ. 

විවාහ වී පවුල් ජීවිතයක් ගත කර ගනිමින් සිටින විට නැවතත් ඔවුන් අතර ප්‍රශ්න ඇති වී සැමියා තලාක් පැවසුවේ නම් බිරිය වාර තුනක ඔසප් කාලයට පසු පිවිතුරු භාවයට පත් වන තෙක් (ඉද්දා) පොරොත්තුවෙන් සිටිය යුතු වේ. එම කාලය තුළ නැවතත් එක් වී ජීවත් වන්නට අපේක්ෂා කළේ නම් ජීවත් විය හැක. එසේ නොමැති නම් බිරිය පිවිතුරු භාවයට පත් වූවායින් පසු වෙන් විය හැක. 

නැවතත් දෙවන වතාවටත් එක් වී ජීවත් විය යුතු යැයි දෙදෙනාම අපේක්ෂා කළේ නම් සාක්ෂි කරුවන් ඉදිරිපත් කර විවාහයක් සිදු කර ගත හැක.

 وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

නුඹලා (නුඹලාගේ) කාන්තාවන්ට තලාක් හෙවත් දික්කසාදය පවසා ඔවුන් ද තම (ඉද්දා) පොරොත්තු කාලය අවසන් කර ගත්තේ නම් (ඔවුන් තලාක් පවසනු ලැබ) තම ස්වාමි පුරුෂයින් (නැවතත්) නිසි අයුරින් තෘප්තියට පත් ව විවාහ කර ගැනීම නොවළක්වන්න.

නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුන්ට මෙලෙස උපදෙස් දෙනු ලැබී ඇත. මෙයමය නුඹලාට ඉතා යුක්ති ගරුක ද ඉතා පිවිතුරු ද වන්නේ. අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.              (අල්-කුර්ආන් 2:232)

ස්වාමියා තම බිරිය තලාක් කළ පසුව නැවත එක් වීමට (අඹු සැමි ඇසුර පවත්වන්නට) අවස්ථා දෙකක් පිරිනමනු ලැබේ.

 الطَّلَاقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ

මෙලෙස (තම භාර්යාවට තලාක් පවසා නැවත එක් කර ගැනීමේ අයිතිය ඇති) තලාක් දෙවතාවකි. පසුව නිසි අයුරින් එක් වී ජීවත් විය හැක නැතිනම් යහපත් අයුරින් (ඇයව) මුදවාලිය හැක.                             (අල්-කුර්ආන් 2:229)

මේ අවස්ථා දෙකම භාවිත කළ පසුව තුන් වැනි වතාවටත් ස්වාමිය තම බිරියට තලාක් පැවසුවේ නම් ඔවුන් දෙදෙනාට නැවතත් පවුල් ජීවිතයක් ගත කරන්නට නුපුළුවන.

බිරිය වාර තුනක ඔසප් කාලයකට පසු පිවිතුරු වී වෙනත් කසාදයක් කර ගත් පසුව එම ස්වාමි පුරුෂයා ද ඇය දික් කසාද කළේ නම් ඒ සඳහා වූ ඉද්දා කාලය ද අවසන් වීමෙන් පසුවය පෙර ස්වාමි පුරුෂයාට මෙම බිරිය නැවතත් විවාහ කර ගත හැකි වනුයේ.

فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّى تَنْكِحَ زَوْجًا غَيْرَهُ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

පසුව (තුන්වැනි වතාවට) ඇයට (තලාක්) දික්කසාදය ප්‍රකාශ කළේ නම් පසුව ඇය ඔහු නොවන වෙනත් සැමියෙකු විවාහ වන තෙක් ඇය ඔහුට අනුමත වන්නියක් නොවන්නීය.

(එම සැමියා වන) ඔහු ද මැයට දික්කසාදය ප්‍රකාශ කොට ඒ (කාන්තාව හා මුල් සැමියා වන) දෙදෙනා අල්ලාහ්ගේ සීමාවන් ඉටු කරනු ඇතැයි සිතුවේ නම් එ දෙදෙනා (විවාහයක් මගින්) නැවත එකතු වීම ඔවුන් කෙරෙහි වරදක් නොවෙයි.

මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. දැනගන්න ජනයාට මේවා ඔහු පැහැදිලි කරයි.                             (අල්-කුර්ආන් 2:230)

අල්-කුර්ආනයෙ හි ඇති මෙම නීතිය නොදන්නා මුස්ලිම්වරුන් බහු තරයක් තමන්ගේ පවුල් ජීවිතයෙහි අවුල් වියවුල් වී සිටිති.

සැමියා බිරිය දෙස බලා ඔබව මම තලාක් කළෙමි තලාක් තලාක් තලාක් යනුවෙන් එකවරම තුන්වරක් පැවසුව ද තිස් වරක් පැවසුව ද එය එක් වරක් පැවසූ තලාකයක් ලෙස ගණන් ගනු ලැබේ. ඒ හැර එය තලාක් වාර තුනක් ලෙස ගණන් ගනු නොලැබේ.

තලාක් සඳහා අවස්ථා දෙකක් පිරිනමනු ලබයි. එයින් නැවත හැරී (තලාක් රජ්ඊ) නැවතත් එක් වී ජීවත් විය හැකිය යන වැකිය මගින් හා සහීහ් මුස්ලිම්, නසාඊ වැනි මූලාශ්‍ර වල සඳහන් වී ඇති හදීස් මගින් මෙම සත්‍යය වටහා ගත හැක. (වැඩි විස්තර ඉදිරියේ සඳහන් කරන්නෙමු. ඉන්ෂා අල්ලාහ්!)

සැමියා බිරියට තලාක් දෙන විට බිරිය ඔසප් තත්ත්වයේ පසු නොවිය යුතුයි. එයින් පිවිතුරු වූ තත්ත්වයක පසු විය යුතුයි යන්න වැදගත් කොන්දේසියකි.               (මුස්ලිම් 2931)

සැමියා තලාක් පිරිනැමූ පසු බිරියට ලබා දුන් මහර් හෙවත් විවාහ ත්‍යාග මුදල ඇතුළුව කිසිදු වස්තුවක් බිරියගෙන් නැවතත් ඉල්ලා සිටිය නොහැක.

وَلاَ يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آَتَيْتُمُوهُنَّ شَيْئًا

(බිරියන්ට) නුඹලා ලබා දුන් දැයින් කිසිවක් නැවතත් ලබා ගැනීම නුඹලාට අනුමැතිය නැත.               (අල්-කුර්ආන් 2:229)

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آَتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا (19) وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآَتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا (20)

විශ්වාස වන්තයිනි, කාන්තාවන් බලහත්කාරයෙන් (බිරියන් ලෙස) හිමි කර ගැනීම නුඹලාට අනුමැතිය නැත. නුඹලා ඔවුනට ලබා දුන් දැයින් යමක් උදුරා ගැනීම සඳහා ඔවුනට පීඩා නොකරන්න. ඔවුන් ප්‍රසිද්ධියේ අශීලාචාර ක්‍රියාවක් කළේ නම් හැර. ඔවුන් සමඟ යහ අයුරින් පවුල් ජීවිතයක් ගත කරන්න. නුඹලා ඔවුන්ව පිළිකුල් කළ ද එහි අල්ලාහ් ඇති තරම් යහපත තබන්නට පුළුවන.

එක් බිරියක් වෙනුවෙන් (දික්කසාද කොට) තවත් බිරියක් විවාහයක් කරන්නට අපේක්ෂා කළේ නම් පළමු බිරියට ධන සම්භාරයක් ලබා දී තිබුණ ද කිසිවක් (උදුරා) නොගන්න.                                                                                     (අල්-කුර්ආන් 4:19,20)

 

බිරිය තලාක් ඉල්ලා සිටියේ නම් ඇයට නියම වන ඉද්දා

සැමියාට බිරිය තලාක් පවසා වෙන් වීමට අනුමැතිය දෙනු ලැබුවාක් මෙන්ම බිරියට ද තලාක් ඉල්ලා සිටීමේ අයිතිය ලබා දී ඇත.

බිරියට තම ස්වාමි පුරුෂයා නුරුස්සන්නේ නම් සැමියා සමඟ එක් වී ජීවත් විය නොහැකිය යන්නට සාධාරණ හේතූන් පවතින්නේ නම් බිරිය ස්වාමි පුරුෂයාගෙන් තලාක් ලබා නීත්‍යනුකූලව වෙන් විය හැක. මෙම නීතිය කුල්උ යනුවෙන් හඳුන්වනු ලැබේ.  

 إِلا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَإِنْ خِفْتُمْ أَلا يُقِيمَا حُدُودَ اللَّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللَّهِ فَلا تَعْتَدُوهَا وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ

(සැමියා හා බිරිය යන) ඔවුන් දෙදෙනා (එක් වී ජීවත් වන විට) අල්ලාහ්ගේ සීමාවන් ඉටු නොකරනු ඇතැයි නුඹලා බිය වෙතොත් (බිරිය වන) ඇය කුමක් හෝ දෙයක් වන්දි වශයෙන් ලබා දී වෙන් වීම දෙදෙනා කෙරෙහි වරදක් නැත. මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. එබැවින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොයවු. අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්මය අපරාධ කරුවන් වන්නේ.                                           (අල්-කුර්ආන් 2:229)

සාබිත් බින් කයිස් (රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, (මාගේ සැමියා) සාබිත් බින් කෙයිස්ගේ ගතිගුණ පිළිබඳව හෝ ආගමික හැදියාව පිළිබඳව හෝ මා අඩුපාඩු නොකියමි. නමුත් මම ඉස්ලාමයේ හිඳිමින් (ස්වාමියාට එරෙහි වෙමින්) ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව බිය වෙමි යැයි පැවසුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඔබට (විවාහ ත්‍යාගයක්) ලෙස පිරිනැමූ වත්ත ඔබ ඔහුට නැවත ලබා දෙන්නෙහිදැයි විමසූහ. එවිට එම කාන්තාව ඔව් යැයි පිළිතුරු දුන්නාය. (බිරියගෙන්) වත්ත භාර ගෙන තලාක් පවසන්නැයි සාබිත් බින් කෙයිස්ට නබි තුමාණන් පැවසූහ.

(වාර්තා කරු ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය බුහාරි -5273-)

බිරිය සැමියාගෙන් වෙන් වී ගිය පසුව ඔසප් වාරයකින් පිරිසිදු වන තුරු ඇය (ඉද්දා) පොරොත්තුවෙන් සිටිය යුතුයි.

තලාක් පවසනු ලැබූ එම කාන්තාවට එක් ඔසප් වාරයක් අවසන් වන තෙක් (ඉද්දා සඳහා) ගණන් ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව තිරිමිදි 1185 හා නසාඊ 3440 හි සඳහන්ව ඇත.

 

ඉස්ලාමය වැලද ගත් කාන්තාවකගේ ඉද්දා

මුස්ලිම් පිරිමියෙකු මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගැනීමත් මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් පිරිමියෙක් විවාහ කර ගැනීමත් ඉස්ලාම් අනුමත කරයි. එමෙන්ම මුස්ලිම් පිරිමියෙකු හෝ කාන්තාවක් මුස්ලිම් නොවන කෙනෙකු විවාහ වීම තහනම් කර ඇත.

එක් දෙවියෙක් පිළි ගත් කෙනෙකු හා පිළි නොගත් කෙනෙකු ඉස්ලාමය වැලඳ ගත් කෙනෙකු හා වැල නොගත් කෙනෙකු සමාන නොවන බවයි ඉස්ලාමයේ ස්ථාවරය වනුයේ.

 وَلا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آَيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

(අල්ලාහ්ට) ආදේශ තබන කාන්තාවන් ඔවුන් විශ්වාස කරන තුරු (පුරුෂයින් වන) නුඹලා විවාහ කර නොගනිවු. ආදේශ තබන්නිය ඔබට ආකර්ෂණීය වුව ද ඇයට වඩා දේව විශ්වාසය ඇති වහලිය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ වන්නීය.

ආදේශ තබන පුරුෂයින් විශ්වාස කරන තුරු ඔවුනට (නුඹලාගේ කාන්තාවන්) විවාහ කර නොදෙවු. අදේශ තබන්නා නුඹලාට කෙතරම් ආකර්ණන වුවද ඔහුට වඩා විශ්වාස වන්ත වහලා ශ්‍රේෂ්ඨ වෙයි.

(ආදේශ තබන) ඔවුන් නිරය වෙත කැඳවති. අල්ලාහ් තමන් අභිමත කරන පරිදි ස්වර්ගය වෙත ද සමාව වෙත ද කැඳවයි. දැනමුතුකම් ලබනු පිණිස අල්ලාහ් තම වදන් ජනයාට පැහැදිලි කරන්නේය.                             (අල්-කුර්ආන් 2:221)

මේ දේව වාක්‍යයට පෙර සහාබිවරු ජීවත් වූයේ කෙසේද යන්න ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා පහත සඳහන් අයුරින් විස්තර කරයි.

අබූ උමෙයියාගේ දියණිය වූ කුරෙයිබා නමැති ආදේශ තැබූ කාන්තාව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විවාහ කර ගෙන සිටියේය. ඇයව උමර් රළියල්ලාහු අන්හු තුමා දික්කසාද කළේය. පසුව එම කාන්තාව මුආවියා බින් අබී සුෆ්යාන් නමැත්තා (ආදේශ තබන්නෙකුව සිටි තත්ත්වයේ -ඉස්ලාමටය පැමිණීමට පෙර) විවාහ කර ගත්තේය.

අබූ සුෆ්යාන්ගේ දියණිය වූ උම්මු හකම් නමැති අදේශ කරන්නියව ඉයාළ් බින් කනම් (රළියල්ලාහු අන්හු) තුමා විවාහ කර ගත්හ. ඇයව ඉයාල් (රළියල්ලාහු අන්හු) තුමා දික්කසාද කළ පසුව එම කාන්තාව අබ්දුල්ලාහ් ඉබ්නු උස්මාන් අස්-සකෆි නමැත්තා විසින් විවාහ කර ගත්තේය.                                                         (මූලාශ්‍රය: බුහාරි 5287)

 يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِذَا جَاءَكُمُ الْمُؤْمِنَاتُ مُهَاجِرَاتٍ فَامْتَحِنُوهُنَّ اللَّهُ أَعْلَمُ بِإِيمَانِهِنَّ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَاتٍ فَلَا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ لا هُنَّ حِلٌّ لَهُمْ وَلا هُمْ يَحِلُّونَ لَهُنَّ

විශ්වාස වන්තයිනි, විශ්වාස වන්තිනියන් දේශ තරණය කරමින් නුඹලා වෙත පැමිණියේ නම් ඔවුන්ව පරීක්ෂා කර බලන්න. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නේය.

ඔවුන් විශ්වාස වන්තිනියන් බව නුඹලා දැන ගත්තෙහු නම් දේව ප්‍රතික්ෂේපකයින් වෙත හරවා නොයවවු. මොවුන් (විශ්වාස වන්තිනියන්) ඔවුනට (ප්‍රතික්ෂේපකයින්ට) අනුමත ලද්දවුන් නොවන්නීය. ඔවුන් (දේව ප්‍රතික්ෂේපකයින්) මොවුනට (විශ්වාස වන්තිනියන්ට) අනුමත ලද්දවුන් නොවෙති.                              (අල්-කුර්ආන් 60:10)

ඉස්ලාමයට අනුව මුස්ලිම්වරු මුස්ලිම් නොවන අය සමඟ විවාහ විය නොහැක. මේ තත්ත්වයේ විවාහ වූ මුස්ලිම් නොවන කාන්තාවක් ඉස්ලාමය පිළිබඳව දැන ගෙන එය පිළි ගෙන මුස්ලිම්වරියක් බවට පත් වූවා නම් එවිට ඇයගේ සැමියා සමග එක් වී ජීවත් විය නොහැක. ජීවත් වීම නුසුදුසුය.

එමෙන්ම සැමියා ඉස්ලාමය වැලඳගත් නමුත් බිරිය ඉස්ලාමය වැළඳ නොගත්තේ නම් ඇය සමග එක් වී ජීවත් වීමට සැමියාට නොහැක.

ස්වාමි පුරුෂයා බිරිය යන දෙදෙනාගෙන් එක් අයෙකු මුස්ලිම්වරයෙකු ලෙසත් අනෙකා ප්‍රතික්ෂේපකයෙකු ලෙසත් සිටින විට විවාහ ජීවිතයේ එක් වී සිටිය නොහැක. කෙනෙකු ඉස්ලාමය වැලඳ ගන්නවාත් සමඟම ඔවුන්ගේ විවාහයත් අවලංගු වී යයි. සැමියා හා බිරිය යන දෙදෙනාම ඉස්ලාමය වැලඳ ගත්තේ නම් (මුස්ලිම්වරුන් බවට පත් වූවා නම්) ඔවුන් දෙදෙනාට එක් වී ජීවත් විය හැක.

බිරිය ඉස්ලාමය වැලද ගෙන සිටිය දී සැමියා ඉස්ලාමය පිළි නොගත්තේ නම් සැමියාගෙන් බිරිය නීත්‍යනුකූලව වෙන් වී යන බැවින් ඇයගේ ඉද්දාව ඔසප් වාරයක සිට පිරිසිදු භාවයට පත් වන තුරු ගණන් ගත යුතු වේ. ගැබිනියක්ව සිටින්නී නම් දරුවා ප්‍රසූත කරන තුරු (ඉද්දා) බලාපොරොත්තු වෙන් සිටිය යුතුයි.

බිරිය ඉද්දාව ගණන් ගන්නා කාලය තුළ සැමියා ද ඉස්ලාමය වැලඳ ගත්තේ නම් (මුස්ලිම්වරයෙකු බවට පත් වූයේ නම්) ඉද්දාව අත හැර දමා ඔවුන් දෙදෙනාම අඹු සැමියන් ලෙස එකට ජීවත් විය හැක.

බිරියගේ ඉද්දා කාලය අවසන් වූ පසු සැමියා ඉස්ලාමය වැලඳ ගත්තේ නම් වුවද එක් වී ජීවත් විය හැක. සැමියා ඉස්ලාමය වැලඳ නොගත්තේ නම් ඉද්දාව අවසන් කොට වෙනත් මුස්ලිම්වරයෙකු විවාහ කර ගැනීමට එම බිරියට අවස්ථාව සැලසේ.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා මුස්ලිම්වරුන් පිළිබඳව සලකා බැලීමේ දී ආදේශ තබන්නන් එක් ආකාරයක විරෝධීන් ලෙස පසු වූහ. ඔවුන් නබි තුමාණන් සමඟ සටන් වැදුණහ. නබිතුමාණන් ද ඔවුන් සමඟ සටන් වැදුණහ.

තවත් ආකාරයක ආදේශ තබන්නන් සාම ගිවිසුම් ඇති කර ගත්හ. මොවුන් නබි තුමාණන් සමඟ සටන් නොවැදුණහ. නබි තුමාණන් ද ඔවුන් සමඟ සටන් නොවැදුණහ.

සතුරු පාර්ශවයෙන් එක් කාන්තාවක් ඉස්ලාමය වැලඳ දේශ තරණය කරමින් මදීනාවට පැමිණියේ නම් ඇය ඔසප් තත්ත්වයට පත් වී ඇය පිරිසිදු වන තෙක් ඇයට විවාහ යෝජනාවක් කිරීමට අනුමැතිය ලබා නොදුනි. එසේ ඇය (ඔසප් තත්ත්වයෙන් පසු) පිවිතුරු වූයේ නම් විවාහ කර ගැනීමට ඇයට අනුමැතිය පිරිනැමිණි. එවැනි කාන්තාවක් (මුස්ලිම්වරයෙක්) විවාහ වීමට පෙර ඇයගේ (මුල්) සැමියා (ඉස්ලාමය වැලඳ) දේශ තරණය කරමින් පැමිණියේ නම් ඇය ඔහු වෙත නැවත භාර දෙනු ලබන්නීය.

සතුරු පාර්ශවයෙන් වහලෙකු හෝ වහලියක් (ඉස්ලාමය වැලඳ) දේශ තරණය කරමින් පැමිණියේ නම් ඔහු නිදහස් පුද්ගලයෙකු සේ සැලකේ. ඔහුට සෙසු මුහාජිර්වරුන් සතු වූ සියලු ආකාරයේ ගෞරවයන් පිරිනමනු ලැබීය.                            (මූලාශ්‍රය: බුහාරි 5289) 

 

ඔසප් තත්ත්වය නතර වූ කාන්තාවකගේ ඉද්දා

තලාක් පවසනු ලැබ දික්කසාදය දෙනු ලැබූ කාන්තාව නියමිත කාලයක් ඉද්දා බලාපොරොත්තුවෙන් සිටිය යුතු වේ. ඒ නියමිත කාලය ඉහත සඳහන් පරිදි ඇයගේ ඔසප් තත්ත්වයේ කාලය සැලකිල්ලට ගනිමින් තීන්දු කරනු ඇත.

කාන්තාවගේ ශරීර පැවැත්ම අනුව ඔසප් තත්ත්වය ඇති වීම නතර වීම සඳහා වූ වයස හා කාල වේලාවන් වෙනස් වෙයි.

එබැවින් තලාක් දෙනු ලැබූ කාන්තාවට ඔසප් තත්ත්වය ඇති නොවන්නේ යැයි සැකයක් ඇති වූ විටක එනම් ඔසප් ඇති වන කාලය අවසන් වී ඇත. මින් පසුව ඔසප් ඇති වීමට කිසිදු අවස්ථාවක් නැතැයි සැකයක් ඇති වූ විටක එම කාන්තාව චන්ද්‍ර ගණනය අනුව මාස තුනක් ගත වන තුරු (ඉද්දා) පොරොත්තුවෙන් සිටිය යුතුයි.

 وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ 

නුඹලාගේ කාන්තාවන් අතුරින් ඔසප් තත්ත්වය නැති වී ගිය අය විෂයෙහි නුඹලාට සැකයක් ඇත්නම් එවැනි අයටත් ඔසප් තත්ත්වය ඇති නොවූවන්ටත් හිමි කාලය මාස තුනකි.                                                                      (අල්-කුර්ආන් 65:4)

 

ඉද්දා ඇරඹිය යුත්තේ කවදා ද?

සැමියා හා බිරිය නීතීඥයෙකු හෝ කාලි (විනිසුරු) ඉදිරියේ නිසි සාක්ෂීන් ඇතිව දික්කසාද කළ අවස්ථාවේ එදින සිට බිරිය ඉද්දාව ගණන් ගැනීමට ආරම්භ කළ යුතුයි.

බිරිය සැමියාගෙන් වෙන් වී ජීවත් වීමට තලාක් (කුල්උ) ඉල්ලා සැමියා ඇයව දික්කසාද කළ පසුව එම අවස්ථාවේ සිට ඇය එක ඔසප් වාරයක කාලයක් අවසන් වන තුරු ඉද්දාව ගණන් ගත යුතුයි.

සැමියා ඉස්ලාමයට නොපැමිණ බිරිය පමණක් ඉස්ලාමය වැලඳ ගත්තා නම් ඉස්ලාමයට පැමිණි එම අවස්ථාවේ සිට ඇය ඉද්දාව ගණන් ගත යුතුයි.

සැමියා මරණයට පත් වූ විට බිරිය ගර්භිණී තත්ත්වයක පසු වන්නී නම් එම අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කරන තෙක් ඉද්දාව ගණන් ගත යුතුයි.

සැමියා මිය ගිය බවට තහවුරු වූයේ නම් එම අවස්ථාවේ සිට මාස හතරක් හා දින දහයක් ඉද්දාව ගණන් ගත යුතුයි.

සැමියා මිය ගිය විට ඉද්දාව ගණන් ගැනීම සඳහා එම ජනාසාව භූමදානය කළ පසුව හෝ භූමදානය කර දින තුනකට පසුවය බිරිය ඉද්දාව ගණන් ගත යුත්තේ යැයි ඇතැමුන් පවසති. ඇතැමුන් ඒ අයුරින් ක්‍රියා කරති. මෙය වැරදි සහගත ක්‍රියාවකි. අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයා පෙන්වා දුන් මඟ නොවන්නේය. එබැවින් අනිවාර්යයෙන්ම මෙවැනි පුරුදු හා සිරිත් වලින් වැළකී සිටිය යුතු වේ.

ඇතැම් අවස්ථා වල සැමියා විදේශ ගතව සිටිය දී මිය ගිය බවට තහවුරු කරමින් තොරතුරක් තමන් වෙත පැමිණි විට එම ජනාසාව එහි භූමදානය කරන තෙක් හෝ ගමට හෝ රටට ගෙනැවිත් භූමදානය කරන තෙක් හෝ බිරිය ඉද්දාව ක්‍රියාත්මක නොකරන සේ වළක්වති. 

එමෙන්ම සැමියා යම් අනතුරකට ලක්ව මිය ගිය විට එය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට පසුව ජනාසාව පවුලේ ඥාතීන්ට භාර දී ඔවුන් ද භූමදානය කළ පසුවය බිරිය ඉද්දාව සඳහා සූදානම් විය යුත්තේ යැයි පවසති.

විදේශ රටකින් මයියතය තම රටට ගෙන ඒමටත් අනතුරට ලක් වූ මයියතය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමටත් දින ගණනාවක් හෝ සති ගණනාවක් ගත විය හැක. ඒ දක්වා එම කාන්තාව නිකරුණේ බලා සිටින්නට ඉඩ හැර ඉද්දාව ද ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා නොදී වළක්වාලීම් මහා අපරාධයකි. පාපයකි. ඉස්ලාම් පිළිබඳව නිවැරදි දැනුමක් හා වැටහීමක් නොමැත්තන්ගේ ක්‍රියා කලාපයන් තුළින් එම කාන්තාවකගේ ජීවිතය තව තවත් අසහනයට පත් වෙයි.

එබැවින් සැමියා මරණයට පත් වූ බවට තහවුරු වූ වහාම එදින සිට බිරිය ඉද්දාව ගණන් ගත යුතු වේ.

තවත් සමහරුන් සැමියාගේ මරණය වෙනුවෙන් ඉද්දාව දින හතළිහකට පමණක් සීමා කර ගනිති. මේ සඳහා කිසිදු සාධකයක් අල්-කුර්ආනයේ හෝ හදීසයෙහි දකින්නට නැත. අනිවාර්යයෙන්ම ඇය මාස හතරක් හා දින දහයක් ඉද්දාවෙහි සිටිය යුතුමය.

සැමියා මිය ගිය විට බිරිය රෝගී තත්ත්වයක පසු වුව ද ඉද්දාව ගණන් ගන්නා දිනයන් අතර වාරයෙහි බිරිය රෝගියෙකු බවට පත් වුව ද ඉද්දාව ගණන් ගැනීම විෂයෙහි කිසිදු වරදක් නැත. එමෙන්ම කිසිදු බාධාවක් ද නැත. ඇතැම් විට මාස හතරත් දින දහයත් තුළ ඇය රෝගියෙකුවම සිටිය ද වරදක් නැත. මේ ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නොවේ.

 

ඉද්දා ඇරඹිය යුත්තේ කොතැන් සිට ද?

අඹු සැමියන් ලෙස ජීවත් වූ දෙදෙනාම (පවුල් ජීවිතය ගත කළ) එම නිවසෙහිම නැවතී ඉද්දාව ආරම්භ කළ යුතු වේ.

أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلاَ تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ

නුඹලාගේ පහසුව පරිදි ඔවුන්ව නුඹලා වාසය කළ ස්ථානයේම වාසය කිරීමට සලස් වවු. ඔවුන් පීඩාවට ලක් කරනු වස් නුඹලා ඔවුනට හිංසා නොකරවු.                             (අල්-කුර්ආන් 65:6)

සැමියාගේ නිවසෙහි (සැමියා සමඟ ජීවත් වූ නිවසෙහි) ඉද්දාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වාතාවරණයක් බියක් යම් සාධාරණ හේතුවක් වෙතොත් ආරක්ෂිත ස්ථානයක නිසි පිළිවෙළට අනුව ඉද්දාව ක්‍රියාත්මක කිරීමට එම කාන්තාවට ඉස්ලාම් අනුමැතිය ලබා දී ඇත. හැකි තරමින් කාලිවරයාට මේ බව දන්වා සිටීම ඉතා යහපතකි.

නඩත්තු වියදම් භාර ගැනීම

ඉද්දා කාලයේ බිරිය සඳහා වූ ආහාර පාන ඇදුම් පැලඳුම් ඇතුළු ව නවාතැන් පහසුකම් සඳහා වූ සම්පූර්ණ වියදම සැමියා විසින් සුපුරුදු පරිදි දැරිය යුතුයි.

තුන් වැනි වරට සැමියා විසින් තලාක් පවසා සිටියේ නම් එවිට සැමියා බිරිය වෙනුවෙන් කිසිදු නඩත්තු වියදමක් දැරීමට අවශ්‍ය නොවෙයි එමෙන්ම අනිවාර්යය ද නොවෙයි යන පණිවිඩය හසීහුල් බුහාරි හා වෙනත් ග්‍රන්ථ වල දැකිය හැක. 

බිරිය ගර්භිණී කාන්තාවක් නම් හෝ දරුවාට කිරි දෙන මවක් නම් හෝ දෙදෙනාගේම නඩත්තු වියදම් සැමියා විසින් දැරිය යුතු වෙයි. සැමියාගේ ආර්ථික හැකියාවට අනුව මෙම නඩත්තු වියදම් පිහිටිය යුතු වේ.

وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آَتَيْتُمْ بِالْمَعْرُوفِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

දරුවාට මව් කිරි දිය යුතු යැයි අපේක්ෂා කරන සැමියා වෙනුවෙන් (දික්කසාද කරනු ලැබූ) මව් වරුන් තමන්ගේ දරුවන්ට පූර්ණ වශයෙන් වසර දෙකක් කිරි දිය යුතුයි. ඔවුනට යහ අයුරින් ආහාර හා ඇඳුම් ලබා දීම දරුවාගේ පියාගේ වගකීමය. තම හැකියාට අනුව මිස කිසිවෙකු මත කිසිදු වගකීමක් පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හෝ පියා තම දරුවා හේතුවෙන් හෝ හිංසාපීඩාවට ලක් කරනු නොලැබේ.

(දරුවාගේ පියා මිය ගියේ නම්) ඔහුගේ උරුමක්කාරයින්ට මේ හා සමාන වගකීම් පැවරෙයි. දෙදෙනාම සාකච්ඡා කොට එකඟ වී දරුවාට කිරි දීම වළක්වාලීමට තීරණය කළේ නම් දෙදෙනා කෙරෙහි කිසිදු වරදක් නැත.  නුඹලාගේ දරුවන්ට (කිරි මවක් විසින්) කිරි පෙවිය යුතු යැයි නුඹලා අපේක්ෂා කළේ නම් (වැදූ මවට) ලබා දිය යුතු දෑ යහ අයුරින් ලබා දුන්නේ නම් නුඹලා කෙරෙහි කිසිදු වරදක් නැත. අල්ලාහ්ට බිය භක්තිමත් වවු. නුඹලා කරන දෑ පිළිබඳව නියත වශයෙන්ම අල්ලාහ් නිරීක්ෂක බව නුඹලා දැන ගන්න.                             (අල්-කුර්ආන් 2:233)

 

ඉද්දාව කවර ක්‍රමයකින් ගණන ගත යුතු ද?

ඉද්දාව ගණන් ගන්නා විට ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව එනම් චන්ද්‍ර ක්‍රමයට අනුව (චන්ද්‍රයා කේන්ද්‍ර කර ගනිමින්) ගණන් ගත යුතු වේ. ඒ හැර සූර්ය ක්‍රමයට අනුව ගණන් නොගත යුතුයි.

අතිරික්ත හා අනිවාර්යය උපවාසයන් ඊදුල් ෆිත්ර් උත්සවය  හජ් හජ් උත්සවය ඇතුළු ඉද්දා වැනි වගකීම් චන්ද්‍ර ගණනය අනුවය ඉස්ලාමයේ ගණන් ගනු ලබන්නේ යන වග අවධානයට ගත යුතුයි.  

ඉස්ලාමීය මාස වන

  1. මුහර්රම්2. සෆර්

3. රබීඋල් අව්වල්4. රබීඋල් ආහිර්

5. ජමාදුල් අව්වල්6. ජමාදුල් ආහිර්

7. රජබ්8. ෂඃබාන්

  1. රමළාන්10. ෂව්වාල්

11.දුල් කඃදා12. දුල් හිජ්ජා

යන මාස දොළොස සඳහා වූ දින දර්ශනය චන්ද්‍ර ගණනය අනුව එනම් සද කේන්ද්‍ර කර ගනිමින් ගණන් බලා ඒ අනුව අනුගමනය කෙරේ.

නව සඳ බැලීමේ ක්‍රියාවලිය රමළාන් හෝ හජ් මාසයට පමණක් සීමා නොකොට සියලු මාස වල නව සඳ බලා මාස තීරණය කළ යුතුයි. ඉස්ලාමීය ක්‍රමයට අනුව පිහිටා ඇති මාස දොළොස දැන ගෙන සිටිය යුතුයි. ඉද්දා ඇතුළුව සියලුම ආගමික කටයුතු උදෙසා මෙය අවශ්‍ය කටයුත්තකි. එබැවින් මාසිකව නව සඳ බැලීමෙහි නිරත විය යුතුයි.

ජනවාරි සිට දෙසැම්බර් දක්වා ඇති මාස සඳහා වූ දින දර්ශනය සූර්ය ගණනය අනුව පිහිටා ඇත. වෙනත් ජන සමාජයන් මෙම ක්‍රමය අනුගමනය කරති. ඒ අනුව තමන්ගේ ආගමික කටයුතු හා සෙසු රාජකාරී කටයුතු ක්‍රියාත්මක කරති. අප ජීවත් වන දේශයේ වාතාවරණය අනුව එවැනි රාජකාරී කටයුතු ඒ අනුව ක්‍රියාත්මක කිරීම වරදක් නොවෙයි. නමුත් එම මාස ගණන් අනුව අප ඉද්දාව ක්‍රියාත්මක නොකළ යුතුයි. සලාතයේ දී පමණක් හිරුගෙන් පවතින හෙවණැල්ල අනුව ක්‍රියා කිරීමට විධානය කරනු ලැබ ඇත්තේ.

සූර්ය හා චන්ද්‍ර දින ගණන් අනුව වසරකට ආසන්න වශයෙන් දින 11 ක පමණ වෙනසක් ඇත. සූර්යය ගණන් අනුව ගණන් ගත්තේ නම් ඉද්දාවෙහි දින ගණන් අධික වෙයි.

එබැවින් ඉද්දාව ගණන් ගන්නා විට ආරාබි මාස ක්‍රමයට අනුව කවර මාසයේ කිනම් චන්ද්‍ර දිනක සිටින්නේ දැයි දැන ගෙන ක්‍රියා කරන්නට ඉදිරිපත් විය යුතුයි.

 

ඉද්දාවෙහි නියමිත කාල සීමා පොරොත්තුවෙන් සිටිය යුත්තේ ඇයි?

සැමියාගේ මරණය වෙනුවෙන් ඉද්දාවෙහි පසු වන කාන්තාව ද දික්කාසද කරනු ලැබූ කාන්තාව ද ක්ෂණිකව තවත් විවාහයක් වෙත යොමු නොවී නියමිත කාලයක් අපේක්ෂාවෙන් සිටිය යුතු යැයි ඉස්ලාමය නියෝග කරයි. ඉද්දාවෙහි පසු වන කාන්තාව එකවර විවාහ නොවී නියමිත දින ගණනක් හෝ මාස ගණනක් බලාපොරොත්වෙන් සිටීමට ඇයව පත් කිරීමේ අරමුණ කුමක් ද යන්න අප වටහා ගත යුතු වේ.

දික්කසාද කරනු ලැබූ කාන්තාවකගේ ඉද්දාව හා සැමියාගේ මරණය වෙනුවෙන් පොරොත්තුවෙන් සිටින කාන්තාවකගේ ඉද්දාව‍ අරමුණු දෙකක් මුල් කර ගෙන පිහිටා ඇත.

දික්කසාද කරනු ලැබූ කාන්තාව නම් ඇය නැවතත් සැමියා සමඟ එක් වී ජීවත් වීම සඳහා වූ සියලුම අවස්ථාවන් අපේක්ෂාවෙන් ජීවත් වන්නීය. දික්කසාද කරනු ලැබූ විගය ඔසප් වාර තුනකින් පිරිසිදු භාවයට පත් වන කාලය අවසන් වන තෙක් ඇය බලාපොරොත්තුවෙන් සිටින තාක්කල් සැමියා සමඟ නැවත එක්වීමේ අවකාශය ඇත්තේය.

ඉද්දාවෙහි මෙම කාල සීමාව තුළ සැමියාගේ නිරීක්ෂණය හා නඩත්තුව යටතේ ජීවත් වෙමින් පසු වන්නීය. එම කාල පරිච්ඡේදයේ දෙදෙනාගේ හදවත් තැකීමකටත් නැවත එක් වීමටත් අවකාශය සැලසෙයි. ඒ තැකීම ආශාව හා කුතුහලය පැමිණිය යුතුය. හදවතින් හා මනසින් තමන්ගේ තත්ත්වය වටහා ගත යුතුය. යන්න මෙම කාල අවකාශයේ අරමුණ වේ.

දික්කසාද කිරීමේ අයිතිය ඉස්ලාම් සැමියාට පිරිනමා තිබුණත් එය පවුල් ජීවිතයේ ඇතිවන්නා වූ ගැටලු වලට සදාතනික තීන්දුවක් නොව තාවකාලික විසදුමක් බවට පත් කර ගැනීමේ අවස්ථාවක් වශයෙන් ඔසප් කාල තුනකින් පිරිසිදු වන දක්වා වූ කාලය ඉස්ලාම් පිරිනමා ඇත. එම කාලය තුළ තාවකාලික  විසදුමෙන් නැවත හැරීමට හෝ අවසාන දක්වා ගෙන ඒමට හෝ අනුමැතිය පිරිනමා ඇත. එය දෙදෙනාගේ කැමැත්ත අනුවය.

බිරිය නැවතත් එක් වී ජීවත් වන්නට අපේක්ෂා කළේ නම් සැමියාගේ සිත වෙනස් කරවා ගැනීමේ ක්‍රියාවන් ඉටු කළ හැක. නැතිනම් සිදුවුණු වැරදි නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් ලෙස මේ නියමිත කාලය පරිවර්තනය කර ගත හැක.

පෙර සිටියාට වඩා ඉතා අලංකාර ලෙස තමන්ව අලංකාර කර ගනිමින් ඇඳුම් පැලඳුම් ආභරණ ඇද සැමියා ආකර්ෂණය වන පරිදි හිඳිමින් සම්බන්ධකම් නැවත පවත්වා ගන්නා ආකාරයෙන් සැමියාගේ සිත වෙනස් කරවා ගැනීමේ ක්‍රියාවන් හි බිරියට නිරත විය හැක.

දික්කසාද කිරීමට පෙර බිරිය කවර ආකාරයේ රූපාලංකාරයෙන් තමන්ව අලංකාර කර ගෙන සිටියේ ද ඒ ආකාරයෙන්ම දික්කසාද කළ පසුව ඉද්දා කාලයේ ද ක්‍රියා කළ හැක. දික්කසාද කිරීමට පෙර රූපාලංකාරය කෙරෙහි සැලකිල්ලක් නොදැක්වුවද ඉද්දා කාල පරිච්ඡේදයේ එම අලංකාරයන් අවශ්‍ය වෙයි. මීට පෙර සිටියාට වඩා ආදරයෙන් ගතිගුණෙන් හා ක්‍රියාවෙන් සැමියාව බන්ධනය කළ හැක.

ඇතැම් විට බිරියගේ ක්‍රියාකලාප තුළ සැමියාගේ සිත වෙනස් වී අතර මැද දික්කසාදය ඉවත් කර ගනිමින් නැවතත් එක් වී ජීවත් වන්නට පුළුවන. තමන් සිදු කළ වැරැද්ද ගැන සැමියා පසුතැවිලි වන්නට පුළුවන. වෙන්වීමෙන් සිදු වුන බලපෑම වටහා ගෙන දරුවන්ගේ ආනාගත ජීවිතය පිළිබඳ සිතා දුක් වන්නට ද පුළුවන.

දෙදෙනාගේ වැරදි වටහා ගෙන සිත් අමනාපයන් අමතක කර දමා සතුටින් ජීවත් වීමෙහි මාර්ගයක් ලෙස එය තිබෙන්නට ද පුළුවන. යහපත් ගතිගුණ පිළිබඳව නැවත සොයා බැලීමේ පාසලක් ලෙස පිහිටන්න ද පුළුවන. එම වාතාවරණය ඇති කිරීමය මේ නියමිත කාල පරිච්ඡේදයේ අරමුණ වන්නේ.

කවර දෙමව්පියන් වුවද තමන්ගේ දරුවන්ගේ ජීවිත දික්කසාදයෙන් අවසන් වීම ගැන සතුටු නොවී හැකි තරමින් වළක්වා ගැනීමට උත්සාහ දරති. එයයි ඉස්ලාමය මෙමගින් පිරිනමනුයේ.

සැමියාගේ මරණය වෙනුවෙන් ඉද්දාවෙහි බලාපොරොත්තුවෙන් සිටින කාන්තාව නම් ඇය තමන් මුළුමණින්ම වෙනස් කර ගත යුතු වේ. ඇය අලංකාරයෙන් සැරසී සිටී නම් එය ඇය ගැන වරදවා සිතන තරමට කරුණු කාරණා බිහි වනු ඇත. හේතුව ඇය සැමියාගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කරමින් සැමියාගේ අහිමි වීම ගැන සිතා කනස්සල්ලෙන් පසුවන්නීය.

එපමණක් නොව ඇයගේ ගර්භාෂයේ දරුවෙකු පිළිසිද ඇත් ද නැද්ද යන්නත් ඇය ගර්භිණී භාවයට හේතු වූ ශුක්‍රාණුව උසුලමින් සිටින්නී ද නැද්ද යන්නත් මිය ගිය සැමියාට උරුමක්කරුවෙක් සිටී ද නැද්ද යන්නත් සැමියා මිය ගිය විට බිරියගේ තත්ත්වය කෙසේද යන්නත් තහවුරු කර ගැනීමට අවශ්‍යතා ඇත්තෙකු වෙයි. 

සැමියා මිය ගොස් ටික කලකින් බිරිය තවත් විවාහයක් කර ගත්තා නම් ඇය බිහි කරන දරුවාගේ පියා කවුරුන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට සිදු වනු ඇත.

ඇතැම් විට ඇය අඩු මාසයෙන් දරුවා බිහි කළ විට එම දරුවා මිය ගිය සැමියාගේ දරුවා විය හැකි ද යන්න විවාහ කර ගත් සැමියා තුළ සැකයක් ගොඩනැගුණේ නම් තත්ත්වය කෙසේ වනු ඇත් ද? තවත් කෙනෙකු විසින් ගැබ් ගෙන දරුවා බිහි කර තමන් රවටා දැමීය යැයි පවසා කවරාකාරයේ ප්‍රතිවිපාක බිහි වනු ඇත් ද?

මෙහි දී අසාධාරණකම් සිදු වනුයේ බිරියට පමණක් නොව දරුවාදට වේ. එම දරුවාගේ අනාගතය විනාශ වී යනු ඇත. එපමණක් නොව එම දරුවා පියාගේ නම නොදැන අවමන් තත්ත්වයකට පත් වන අතරම දේපළ උරුමය පවා හිමි කර ගත නොහැකිව අනාථයෙකු බවට පත් වෙයි.

ඉද්දා යන නීතිය පිළිනොපදිනා සමාජයක් තුළ මෙම නීච තත්ත්වය අපි දකින්නෙමු. යථාර්ථවාදීව ඉස්ලාම් පවසන මෙම නීතිය සැක සාංකාවන්ගෙන් ආරක්ෂාව සලසන අතර ජීවත් කරවීමේ මාර්ගය ද පෙන්වා දෙයි. නියමිත කාලයක් බලාපොරොත්තුවෙන් සිටින මෙන් ඉස්ලාමය විධානය කිරීමේ අරමුණ බුද්ධි ගෝචරය ආශ්චර්යමත්ජනකය. මෙය කාන්තාවන්ගේ අයිතිය උදුරා ගන්නක් ලෙස හෝ නිදහස නැති කර දමන්නක් ලෙස හෝ බුද්ධිමතුන් නොසලකති.

ගර්භිණී මාතාවක් තම දරුවා ප්‍රසූත කළ වහාම ඉද්දාව අවසන් වෙයි යන නීතිය ද අඹු සැමි ඇසුරක නිරත නොවූ තත්ත්වයේ දික්කසාද කරනු ලැබූ කාන්තාවකට ඉද්දා නොමැත යන නීතිය ද අවබෝධ කර ගත්තේ නම් මෙම සත්‍යතාව තවදුරටත් පහසුවෙන් වටහා ගත හැක.

 

 

ඉද්දාවෙහි ක්‍රමවේදයන් හා බිහිවුණු මිථ්‍යා විශ්වාසය

ඉද්දා අවස්ථාවේ දී ඇතැම් විනයන් පිළිපදින මෙන් ඉස්ලාම් උගන්වා දෙයි. දික්කසාද කරනු ලැබූ කාන්තාවකටත් සැමියා මිය ගොස් පොරොත්තුවෙන් සිටින කාන්තාවකටත් සතු විනයන් හෝ සීමාවන් දෙයාකාරයකින් පවසා ඇත.

සැමියාගේ මරණය වෙනුවෙන් මාස හතරක් හා දින දහයක් ඉද්දාවෙහි පොරොත්තුවෙන් සිටින කාන්තාව එම කාල සීමාව අවසන් වන තුරු විවාහ නොවිය යුතුයි.

සැමියා ජීවතුන් අතර සිටිය දී පිළිපදිමින් පැමිණි ඇඳුම් හා ශරීර අලංකරණයන්ගෙන් වැළකී සිටිය යුතුයි. ඇය තම සැමියාගේ අහිමි වීම ගැන සිතමින් ජීවත් වන්නීය යන තත්ත්වයක් උදා විය යුතුයි. අලංකාරමත් නොවන සාමාන්‍ය ඇඳුම් ඇඳ ගත යුතුයි. ඒ වෙනුවෙනට සුදු ඇදුම පමණක් ඇද දුකින් පසුවෙමින් හිසෙහි හිසකෙස් පවා නොපීරා පවුලේ සාමාජිකයින් සමඟ ඇති සම්බන්ධකම් පවා විසන්ධි කර දමා තනි කාමරයකට කොටු වී  සිටිය යුතුයි යන්න නොවේ. එලෙස කිසිදු නියෝගයක් පවා පැමිණ නැත.

ඇතැමුන් ඉද්දාවෙහි පසු වන කාන්තාව සුදු වස්ත්‍රය පමණක් ඇඳිය යුතුයි යන නීතියක් ගොඩ නගා ඇති බැවින් ඉද්දාවෙහි වස්ත්‍රය යන නාමයෙන් විලාසිතා ඇදුමක් පවා වෙළඳ පොළට පැමිණ ඇත. මෙතෙක් දක්වා සිනමාකරුවන්ගේ නාමයෙන් සල්වාර් කමිස වස්ත්‍ර ටී ෂර්ට් ලෙස නොයෙකුත් ඇඳුම් පැලඳුම් වෙළඳ පොළට පැමිණියාක් මෙන්ම ඉද්දාවෙහි නාමයෙන් ද සුදු වස්ත්‍රයක් වෙළඳ පොළොට පැමිණ ඇත. අනිවාර්යයෙන් ඇඳිය යුත්තේ මෙය යැයි කාන්තාව බල කිරීමට පත්වන්නීය. මෙය වෙළඳාමෙහි සාධාරණත්වය ද මෙයටත් ඉස්ලාමයටත් කිසිදු සම්බන්ධතාවක් නොමැත.

ඉද්දාවෙහි පසු වන කාන්තාවන් සුදු වස්ත්‍රය ඇඳීම අනිවාර්ය නොවන බවත් නියපොතු කැපීම, කිහිලි රෝම හා රහස්‍ය ප්‍රදේශවල රෝම ඉවත් කිරීම තහනම් කර නොමැත. ඒවා අනුමත කර ඇති බවත් ඉමාම් ඉබ්නු හජර් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා හා ඉමාම් ඉබ්නු කය්යූම් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා යන විද්වත්හු පැහැදිලි කර ඇත්තාහ. (මූලාශ්‍රය: ෆත්හුල් බාරි 9/402, අස්-සාදුල් මආද් 5/705)

ඉද්දා අවස්ථාවේ අලංකරණය කර ගැනීමෙන් එම කාන්තාව වැළකී සිටිනවාත් සමගම පිරිසිදුව නීරෝගීව එදිනෙදා කටයුතු වලට සහභාගී වන්නියක් ලෙස සිටිය යුතුය. එපමණය ඇයට නියම වනුයේ.

මිය ගිය කිසිවෙකු වෙනුවෙන් දින තුනකට වඩා අප ශෝකය පළ කළ නොයුතු යැයි තහනම් කරනු ලැබුවෙමු. නමුත් සැමියා වෙනුවෙන් (ඔහුගේ මරණය වෙනුවෙන්) මාස හතරක් හා දින දහයක් හැර.

තවද (ඉද්දා අවස්ථාවේ දී) අප දෑස් වලට සුරුමා ගැල්වීම හෝ සුවඳ විලවුන් ගැල්වීම හෝ සායම් කරන ලද වස්ත්‍ර ඇඳීම හෝ නුසුදුසුය යන තහනම පනවනු ලද්දෙමු. නමුත් ගෙතීමට පෙර නූලෙහි සායම් ගල්වන ලදුව නිම් කළ ඇඳුම් හැර. (එය ඇඳීමට අනුමැතිය දෙන ලදී.)

තවද අපගෙන් කිසිවෙකු ඔසප් තත්ත්වයේ පසු වී ස්නානය කොට පිරිසිදු වූ විට ළඃෆර් නම් ස්ථානයේ තිබුණු එක්තරා ගසක කොටයක කැබැල්ලකින් සුවඳ විලවුන් ගල්වා ගැනීම අපට අනුමැතිය දෙන ලදී. තවද අප ජනාසාවක පසුපසින් නොයා යුතු බවටද තහනම් කරන ලදී.  (වාර්තාකරු උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) මූලාශ්‍රය: බුහාරි)

සැමියා අහිමි වූ කාන්තාව (ඉද්දාවෙහි සිටිය දී) රත්පැහැ ගැන්වූ සායම් ගැල් වූ වස්ත්‍ර රතට හුරු කහ වස්ත්‍ර ආභරණ වැනි දෑ නොපැලඳිය යුතුයි. සායම් ගැල්වීම හෝ සුරුමා යෙදීම හෝ නොකළ යුතුයි. යනුවෙන් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

(වාර්තාකරු: උම්මු සලමා (රළියල්ලාහු අන්හා), මූලාශ්‍රය අහ්මද්, නසාඊ 3534-35)

ඉහත සඳහන් කළ කිසිදු කරුණක් දික්කසාද පවසනු ලැබූ කාන්තාවට නියම නොකළේය. ඇය සැමියා සමඟ එක් වී ජීවත් වීම සඳහා මාර්ග පාදා ගැනීමේ පසුබිමක පසු වන බැවින් මෙලෙසය සිටිය යුත්තේ යනුවෙන් සීමාවක් සඳහන් වී නැත. දෛනික ක්‍රියාකාරකම් හි සැමියා සමඟ - තලාක් පවසනු ලැබීමට පෙර - කවර අයුරින් සිටියේ ද එලෙසම තලාක් කාලය තුළත් සිටිය හැක. 

 

 


මිත්‍යා විශ්වාස

ඉද්දාවෙහි නාමයෙන් ඇතැම් වැරදි ක්‍රියාමාර්ගයන් සමාජයේ ඇතැම් අය වෙත පහත සඳහන් අයුරින් දැකිය හැකි වේ.    

  • ඉද්දාවෙහි පසු වන කාන්තාව අසල්වැසි කාන්තාවන් සමඟ කථා කළ නොහැක.
  • ඔවුන් රෝගාතුර වූ විට ඔවුන්ගෙන් සුව දුක් විමසීම සඳහා බැලිය නොහැක.
  • පවුලේ ඥාතීන් අතර කිසිවෙකු හෝ රෝගාතුරව පෙළෙන්නේ නම් ඔවුන් වෙත ගොස් සුව දුක් විමසිය නොහැක.
  • සුව දුක් විමසා සැනසිලි බස් කතා කළ නොහැක.
  • යහපත් කටයුතු වල සහභාගී වීම සඳහා ඉදිරියට ආ නොහැක.
  • පවුලේ මහ්රම් ඥාතියෙකු මරණයට පත් වුව ද හිතවත් ලෙස ඇසුරු කළ අසල්වැසි කාන්තාවක් මරණයට පත් වුව ද ජනසාව බැලීම හෝ එම ජනාසා නිවසට යෑම හෝ නොහැක.
  • රෝගාතුර වූ විට රෝහලට යා නොහැක. (හැකි නම් පමණක් වෛද්‍යවරියන් සොයා බලා නිවසට කැඳවා ගෙන පැමිණෙති.)

මේ සමඟම තවත් ඇතැම් අපරාධයන් බිහි කර ගෙන ඇත. එනම්

  • ඉද්දාවෙහි පසු වන කාන්තාවට ආලෝකය නොවැදෙන සේ වහලකින් හා ජනේලයකින් ආවරණය කර තැබීම
  • සැමියා මිය ගිය ස්ථානයේ පහන් දල්වා ඉද්දාව ඇරඹීම 
  • රාත්‍රී 12 ට මධ්‍යම රාත්‍රියෙහි කහ වතුරින් නාවා සුදු ඇඳුම අන්ඳවා යාසීන් ඇතුළුව දුආ ප්‍රාර්ථනාවන් පාරායනය කොට ඉද්දාව ඇරඹීම
  • ගර්භිණී මාතාවන් නොපෙනෙන අයුරින් වළක්වාලීම (එසේ දුටුවේ නම් ගබ්සාවට පත් වේවි යන බියෙන් පසුවීම)
  • නව මංගල යුවල දැකීමෙන් ඔවුන් ඉදිරියට පැමිණීමෙන්  වළක්වාලීම
  • දිනපතා පල වන පුවත් පත් සඟරාවන් බලන්නට කියවන්නට නොදී ලෞකික සිද්ධීන් රටේ තත්ත්වයන් දැනගැනීමට නොදී වළක්වාලීම.
  • කණ්ණාඩි බැලීම හා හිස පීරීම වළක්වාලීම. හිසට තෙල් ගැල්වීමෙන් වළක්වාලීම
  • නැවතී සිටින කාමරයෙන් එළියට ඒමට නොදී වළක්වාලීම
  • එම ස්ථානය සිව් දෙසින් පොල් අතු වලින් ආවරණය කිරීම
  • එක් කුස උපන් සහෝදරයා ඔහුගේ දරුවන් හා බෑණාවරුන් බලන්නට නොදී වළක්වාලීම. වැදූ පියා පවා බලන්නට නොදී වළක්වාලීම
  • ඉද්දා අවසන් වන විට කහ වතුරින් ස්නානය කරවා වස්දොස් නැතිවනු පිණිස පීරීසියක් මත පිඹීමට හා කෙළ ගැසීමට සැළැස්වීම එවිට මස්ජිදයේ කතීබ් තුමාව කැඳවා යාසීන් හා දුආ ප්‍රාර්ථනාව පාරායනය කිරීම

අන්‍ය ආගමික ඇතැම් වත් පිළිවෙත් සම්ප්‍රදායන් වල ගැලී මෙවැනි පිළිවෙත් බිහි කර ගනිමින් ඉද්දා අවසන් වන තෙක් ඒවා පිළිපදිති. බොහෝ සේ මෙවැනි මිථ්‍යා පිළිවෙත් සිදු නොවුව ද ඇතැම් අවස්ථාවන් හි ඇතැම් කරුණු දැක ගන්නට පුළුවන. මේවා අවවාද කළ යුතු කරුණු වේ.

මෙම සීමා මායිම් වත් පිළිවෙත් හා සම්ප්‍රදායන් වලටත්  ඉස්ලාමයටත් අතර කිසියම් සම්බන්ධතා වක් තිබෙන්නේදැයි බැලූ කල එහි කිසිදු සම්බන්ධ තාවක් දකින්නට නොමැත. මොවුන් විසින්ම නියම කර ගනිමින් කාන්තා සමූහය පීඩනයට ලක් කරති.

දහමෙහි නාමයෙන් යම් කිසි දෙයක් නියම කරන්නේ නම් හෝ යම් කිසි පාලනයක් ගෙන එන්නේ නම් හෝ ඒ සඳහා අල්-කුර්ආනයෙන් හා හදීසයන්ගෙන් සාධක නොගෙනාවේ නම් එය ආගමික කටයුත්තක් ලෙස ගත නොහැක. එසේ ගැනීම ද නුසුදුසුය.

ඉද්දා හෙවත් වගකීම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විසින් පැනවූහ. ඉද්දාවෙ හි පසු වන කාන්තාව මෙලෙස සිටිය යුතුයි යන සීමාවන් අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් පමණය කිව හැක්කේ. අල්ලාහ් හා දූතයාණන් නොපැවසූ නියමයන් පාලනයන් කිසිදු මිනිසෙකු විසින් පැවසිය නොහැක. ඒ සඳහා කිසිදු අයිතියක් ඔහු කෙරෙහි නොමැත.

මේ අයුරින් යම් නියෝගයක් පාලනයක් ඉද්දාව ගණනය කරන කාන්තාවකට අවශ්‍ය යැයි තිබුණේ නම් සැබැවින්ම අල්ලාහ් හා එතුමාණන්ගේ දූතයා ණන් මෙම සමූහයට පෙන්වා දී තිබිය යුතුව ඇත.

ඉද්දාව ගණන් ගන්නා කාන්තාවකගේ ක්‍රියාවන් හා හැසිරීම් කෙසේ විය යුතු ද කොතැනක සිදුවිය යුතු ද යන්න ඉතා පැහැදිලි ලෙස පවසා සිටින අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමාජය විසින් සොයා ගත් මෙම පාලනයන් ගැන පෙන්වා දී නොමැති නම් එහි යථාර්ථය වනුයේ එය අනවශ්‍ය ක්‍රියාවක්  බවය.

ඉද්දාවෙ හි පසු වන කාන්තාවකගේ යහපත උදෙසා මෙම සීමාවන් පනවා ඇත්තෙමු මෙමගින් යහපත සැලසෙනවා මිස කිසිදු හානියක් ඇති නොවන්නේ යැයි කිසිවෙකුටත් සාධාරණී කරණය කළ නොහැක.

යහපත හා අයහපත පිළිබඳ තීන්දු කිරීමේ බලය මිනිස් සමූහය වෙත පිරිනැමුවේ නැත. ඉද්දාව ගණන් බලමින් පසු වන කාන්තාවට යහපත් වන්නේ කුමක් ද අයහපත් වන්නේ කුමක් ද යන්න අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා සීමා කර පවසා තිබිය දී අප විසින් නව සීමා මායිම් බිහි කළ යුතු නැත.

එබැවින් අනවශ්‍ය සීමා කිරීම් පනවා අපහසුතාවන් පටවා ඔවුන් වාසය කරන නිවස සිරගෙයක් බවට පත් කළ නොයුතුයි.

 

නොබැලිය යුතු පිරිමින් සිටීවි ද?

ඉද්දාවෙ හි පසු වන මෙම කාන්තාව කාමරයෙන් එළියට ගෙන ඒමට සිදු වූයේ නම් සම්පූර්ණයෙන්ම ආවරණය කොට හිස පහත් කොට බිම බලා ගත් අයුරින් කැටුවා ගෙන එති. (අපරාධකරුවෙක් පොලිසිය විසින් අධිකරණයට කැටුවාගෙන යනවාක් මෙන් එම දර්ශනය පවතියි.)

ඉද්දාවෙහි පසු වන කාන්තාවක් කිසිදු පිරිමියෙකු නොබැලිය යුතුයි. එසේ බැලුවේ නම් ඉද්දාව අහෝසි වී යයි. ඉද්දාව අවලංගු වෙයි. එපමණක් නොව පිරිමියෙකු සමඟ කතා කළේ නම් හෝ ඔහුව බැලුවේ නම් හෝ ඔහු ඇයව බැලුවේ නම් හෝ ජනයා වැරදි ලෙස වටහා ගෙන නොමනා කට කතාවන් ඇති කරනු ඇත. එබැවිනි ඇයව සිර ගත කර තබා ඇත්තේ යැයි සාධාරණීකරණය කරති. මොවුන් පවසන වත් පිළිවෙත් සම්ප්‍රදායන් හේතු සාධක සාධාරණ ලෙස පෙනුණ ද ඇත්තෙන්ම එය යුක්ති ගරුක නොවේ. මහා අපරාධයකි.

එක් අන්‍ය පිරිමියෙකු එක් අන්‍ය කාන්තාවක් වැඩිවියට පත් වූ දා පටන් තනිව හමුවීමෙන් වැළකී සිටිය යුතුයි. කතා නොකළ යුතුයි. එම ස්ථානයේ නොසිටිය යුතුයි.  කතා කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ විටෙක මහ්රම් තත්ත්වයේ පසු වන පුද්ගලයෙකු (විවාහ වීම තහනම් කරන ලද මුස්ලිම්වරයෙකු) ඉදිරියේ කතා කළ යුතුයි. අවශ්‍ය හේතුවක් මත කතා කිරීමේ අවශ්‍යතාවක් ඇති වුව ද විනය ගරුකව සීමාවන් පිළිපදිමින් ක්‍රියා කළ යුතුය යන්නය ඉස්ලාමයේ නීතිය වනුයේ. ඒ හැර සැමියා මිය ගිය පසුව පමණක් එම කාන්තාව අන්‍ය පිරිමියෙකු නොබැලිය යුතුයි යන්නට වෙනම නීතියක් නොපවතී.

විනයානුකූල තැන්පත් ශ්‍රේෂ්ඨ (ජීවිතයක්) සමාජයක් බිහි කිරීමට පිරිමි කාන්තා යන දෙපාර්ශයටම ඉස්ලාමය නියම කළ ශ්‍රේෂ්ඨ නීතියකි මෙය. නමුත් මෙය සෙල්ලමට විහිළුවට ගන්නා වැඩ පිළිවෙළක් ලෙස ඉද්දාවෙහි පසු වන කාන්තාව විෂයෙහි පත් කර ඇත.

මෙම කාන්තාව තම සැමියා ජීවතුන් අතර සිටිය දී අන්‍ය  පිරිමින් දෙස නොබලා කතා නොකර විනයානුකූලව ක්‍රියා කළාක් මෙන්ම ඉද්දාව ගණනය කරමින් සිටින දිනයන්හි ද ක්‍රියා කළ යුතු වේ. සැමියා ජීවිතුන් අතර සිටිය දී ඇයගේ නිවසට අන්‍ය පිරිමින් නොපැමිණෙන තරමට ක්‍රියාකළාක් මෙන්ම ඉද්දා කාලයේ දීත් ක්‍රියා කළ යුතුයි. මෙම විනයානුකූල පිළිවෙත කවදත් ඇය විසින් පිළිපැදිය යුතු වේ. ඉස්ලාම් පවසන මෙම නීතිය නිවැරදිව හදාරා අවබෝධ කර නොගත් නිසා වැරදි සහගත ලෙස මෙම ක්‍රියාවලිය ගොඩ නගා ගෙන ඇත. 

ඉද්දා අවස්ථාවේ අවුරුදු පහක පසු වන දරුවන් වැඩිවියට පත් නොවූ දරුවන් හා තම සහෝදර සහෝදරියන්ගෙන් පැවත එන දරුවන් බලන්නට නොදී කතා කරන්නට නොදී වළක්වාලීම එම දරුවන්ට මානසික වශයෙන් බලපෑම් ඇති කරන ක්‍රියාවකි. එමෙන්ම එම කාන්තාවද මානසික වශයෙන් බලපෑමකට ලක් වන ක්‍රියාවකි.

සැමියා අහිමි වූ ශෝකයෙන් කාන්තාව පසු වන විට තම  සහෝදරයන් දරුවන් ඥාතීන් බලන්නට නොහැකිව තමන් තනි වුණේ යැයි සිතමින් දුකට හා කනස්සල්ට පත් වන්නීය. මෙය ඇයගේ ජීවිතයේ ශාරීරිකව හා මානසිකව මහත් බලපෑමක් සිදු කරනු ඇත.

එක් කාන්තාවක් ඉස්ලාමීය විනයානු කූල ක්‍රමවේදයන් සීමාවන් කවරාකාරයෙන් පිළිපඳිමින් පැමිණියේ ද එම විනයන් හා සීමාවන් සැමියාගේ මරණයට පසුව ද (ඉද්දාවෙහි කාලයේ ද) පිළිපදිමින් ක්‍රියා කළ යුතු වේ. මේ කරුණ වටහා ගත්තේ නම් අනවශ්‍ය සීමාකරණයන් විනාශ වී යනු ඇත.

 

ඉද්දා අවස්ථාවේ විවාහ යෝජනාවක් කළ හැකි ද?

තවත් එක් වැදගත් නීතියක් ඇත. ඉද්දාවෙහි පොරොත්තුවෙන් සිටින එම කාන්තාවට ඉද්දා කාලය අවසන් වීමට මත්තෙන් විවාහයක් කතා නොකළ යුතුයි විවාහ ගිවිසුමක් නොකළ යුතුයි නමුත් ඇය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ හැක. වුවමනාවක්  ඇතොත් විවාහයක් සඳහා අවශ්‍යතාව පිළිබඳව ඇඟවිය හැක.

 وَلا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلا أَنْ تَقُولُوا قَوْلاً مَعْرُوفًا وَلاَ تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ

(මෙලෙස ඉද්දාවෙහි පොරොත්තුවෙන් සිටින) කාන්තාව සමඟ විවාහ කර ගැනීමට සිතා (එය පිළිබඳව) නුඹලා දන්වා සිටීමෙහි හෝ සිතෙහි සඟවා තබා ගැනීමෙහි හෝ නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා ඔවුන් පිළිබඳව සිතන බව අල්ලාහ් දන්නේය.

නමුත් රහසිගතව ඔවුන් සමඟ (විවාහය පිළිබඳව) ගිවිසුම් ඇති කර නොගන්න. නමුත් මේ පිළිබඳව සුපුරුදු පරිදි (දහමට ගැළපෙන අයුරින්) වචන නුඹලාට පැවසිය හැක.

තවද (ඉද්දාවෙහි) නිශ්චිත පොරොත්තු කාලය අවසන් වන තෙක් විවාහ ගිවිසුම ස්ථීර කර නොගනිවු. අල්ලාහ් නුඹලාගේ සිත්හි ඇති දෑ මැනවින් දන්නේ යැයි නුඹලා දැන ගෙන ඔහුට බිය වී කටයුතු කරවු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම දයාබරය යැයි ද නුඹලා දැන ගනිවු.                                                                                                   (අල්-කුර්ආන් 2:235)

 

අවශ්‍යතාවක් ඇති වූ විටක නිවසින බැහැරව යා හැකි ද?

ඉද්දා කාලයෙහි පසු වන කාන්තාවට වෛද්‍ය අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා ඇති වූ විටක නිවසින් බැහැරව ගොස් රාත්‍රියට පෙර පැමිණිය යුතු ය යන්නට පහත සඳහන් හදීසය කදිම ආදර්ශයකි.

මාගේ මවගේ සහෝදරිය දික්කසාද කරනු ලැබූ කාන්තාවකි. (ඉද්දා අවස්ථාවේ) තමන්ගේ රට ඉඳි ගසෙහි ගෙඩි කැඩීමට (බහැරව යාමට) සිතන්නීය. (එවිට) ඔබ එළියට නොයා යුතු යැයි පුද්ගලයෙකු අවවාද කළේය.

එබැවින් මාගේ මවගේ සහෝදරිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අසලට පැමිණ මේ පිළිබඳව විමසා සිටියාය. එවිට නබි තුමාණෝ එසේය, ඔබ ගොස් ඔබගේ රට ඉඳි ගසේ ගෙඩි කඩන්න. හේතුව (එයින් ලැබෙන ආදායම) පරිත්‍යාග කළ හැකිය. නැතිනම් කිසියම් යහපතක් කළ හැකිය යැයි පවසා සිටියහ.

(වාර්තාකරු: ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හු-, මූලාශ්‍රය: මුස්ලිම් 2727) 

නබි තුමාණන්ගේ කාලයට පසු ඉමාම් වරුන්ගේ කාලයේ පවා මෙම අනුමැතිය පිළිපදිමින් ආ බවට මෙම හදීසයෙහි විග්‍රහයේ පැහැදිලි කොට ඇත. ඉමාම් වරුන් වන ඉමාම් මාලික් (රහ්මතුල්ලාහි අලෙයිහි) ඉමාම් ෂාෆී (රහ්මතුල්ලාහි අලෙයිහි) ඉමාම් අහ්මද් (රහ්මතුල්ලාහි අලෙයිහි) ඉමාම් ලෙසයිස් (රහ්මතුල්ලාහි අලෙයිහි) යන විද්වත්හු ඉද්දාවෙහි සිටින කාන්තාවට දහවල් කාලයේ නිවසින් බැහැරව යා හැකිය යනුවෙන් මෙම හදීසයට ලබා තිබෙනු දැකිය හැක.                                                                      (මූලාශ්‍රය: ෂර්හුල් මුස්ලිම්)

ඉද්දාවෙ හි පසු වූ කාන්තාවට තම අවශ්‍යතාව ගැන සිතා රට ඉඳි වත්තට ගොස් පැමිණිය හැකිය යන නබි තුමාණන් අනුමැතිය ලබා දී තිබිය දී අප සමාජය ඇයි මෙහි අනවශ්‍ය කරුණු ඇතුළත් කොට සීමා කළ යුත්තේ?

කාන්තාවන් නිවෙස් තුළ ආරක්ෂිත පසුබිමක රැකියාවක් කරමින් සිටින්නේ නම් උදාහරණ වශයෙන් ඇඳුම් මසන්නියන් අත් උදව් කාරියන් වැනි අය ඉද්දා කාලයේ පවා එම රැකියාව නිසි අයුරින් නිරත විය හැක. 

නබි තුමාණන් වෙත ගොස් සහාබි කාන්තාවන් ආගමික විසදුම් විමසා නිසි සාධක ලබා ඒ අනුව පිළිපැද්දාහ. එබැවින් ආගමික කරුණු වල දී අපගේ කාන්තාවන් ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ආගමික කටයුතු වල දී සැලකිල්ලක් නොදක්වන තෙක් මිත්‍යා මතයන් තුරන් කළ නොහැක. 

එබැවින් ඉද්දා ඇතුළුව සියලුම කටයුතුවල දී සියලුම නැමදුම්වල දී පාරිශුද්ධ අල්-කුර්ආනයත් පැහැදිලි නබි තුමාණන්ගේ සුන්නාහ්වත් පිළිපදිමින් ජීවත් වෙමු.

අල්-හම්දු ලිල්ලාහ්.