289

 

උල්හියියා සිදු කරන

ධි විධාන හා විනය

] සිංහල – Sinhala –[ سنهالي  

 

 

 

 

එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

 

 

 

පරිවර්තනය: මව්ලවි ටී. ඩී. රම්ඩීන් මාහිර් (නූරී)

 

 

2013 - 1434

 

 


 

أحكام وآداب الأضحية

« باللغة السنهالية »

 

 

 

إمتياز يوسف

 

 

ترجمة: ماهر رمدين

 

 

 

2013 - 1434

 


උල්හියියා සිදු කරන විධි විධාන හා විනය

එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

සිංහලෙන් මාහිර් ටී.ඩී රම්ඩීන්

හජ් අවුරුදු උත්සවය උදාර ගැත්තෙකුගේ කැප වීම ඓතිහාසික වශයෙන් මතක් කර දෙන උතුම් උත්සව දිනයකි. නබි ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය, තමන් සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙනුවෙන් කැප කරමින් ජීවත් වූ ආදර්ශමත් ජීවිතය නිරූපණය කරන්නක් වශයෙන් හජ් හා එහි පිළිවෙත් සැලකිය හැකිය. උල්හිය්යා හෙවත් සතෙකු කැප කිරීම එම පිළිවෙත් අතුරින් එකකි. එය ලබා දෙන්නා වූ ක්‍රමය හා එහි මහිමය පිළිබඳව කෙටියෙන් අපි මෙහි දී බලමු.

 අරමුණ

මෙම කුර්බානය හජ් පළමු දින සිට එනම් දුල් හජ් දස වැනි චන්ද්‍ර දින සිට ඉන් පසුව පැමිණෙන අය්යාමුත් තෂ්රීක් හෙවත් චන්ද්‍ර දින 11, 12, 13 යන දින තුනක් දක්වා ලබා දෙන්නක් වේ. එළු හරක් හා ඔටුවන් යන මේ වර්ග තුනෙන් එක් සත්වයෙකු අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ නාමය පවසා කපා, පුද කර දුගී දුප්පතුන්ටත් තම පවුලේ අයටත් බෙදා දීමය මෙහි අරමුණ වන්නේ. අල්ලාහ් වෙනුවෙන් රුධිරය අපතේ යැවීම හෝ නිකරුණේ සත්වයෙකු කපා පුද පූජා කිරීම හෝ එහි යථාර්ථය නොවේ. එමෙන්ම එහි අරමුණ ද නොවේ.

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ

උන්ගේ මාංශ ද උන්ගේ රුධිරය ද අල්ලාහ් වෙත ළඟා නොවන්නේමය. නමුත් නුඹලා අතුරින් වූ බියභක්තිමත්භාවය ඔහු වෙත ළඟා වන්නේය.                             (අල්-කුර්ආන් 22:37)

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

නුඹේ පරමාධිපති වෙනුවෙන් සලාතය ඉටු කර (ඔහු වෙනුවෙන්ම සතෙකු) කපා පුදනු.              (අල්-කුර්ආන් 108:02)

බියබැතිමත්කම හදවතෙහි ඇති කර ගනිමින් කුර්බාන් ලබා දෙන්නා වූ ක්‍රමය හා විනය පිළිබඳව කෙටියෙන් දැන් අපි බලමු. 

උල්හිය්යා ලබා දෙන්නා විසින් නොකළ යුතු දෑ

කෙනෙකු කුර්බාන් ලබා දීමට තීරණය කළ විට ඔහු දුල් හජ් මාසයේ මුල් සද දුටු අවස්ථාවේ සිට කුර්බාන් ලබා දෙන තෙක් නියපොතු කැපීමෙන් කෙස් රෝම ඉවත් කිරීමෙන් වැළකී සිටිය යුතු වේ. 

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ كَانَ لَهُ ذِبْحٌ يَذْبَحُهُ فَإِذَا أُهِلَّ هِلَالُ ذِي الْحِجَّةِ فَلَا يَأْخُذَنَّ مِنْ شَعْرِهِ وَلَا مِنْ أَظْفَارِهِ شَيْئًا حَتَّى يُضَحِّيَ

 

කවරෙකු සතුව කැප කරන කුර්බානයක් වන්නේ ද ඔහු දුල් හජ් මුල් සද උදා වූ අවස්ථාවේ සිට එය ඉටු කරන තෙක් තම කෙස් හෝ නියපොතු ඉවත් නොකළ යුතුයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ.

(උම්මු සල්මා - රළියල්ලාහු අන්හා -  මූලාශ්‍රය: මුස්ලිම්)

 

සත්වයින් හොදාකාරයෙන් රැක බලා ගැනීම

කුර්බාන් සඳහා සූදානම් කරනු ලබන සත්වයා නිසියාකාර ලෙස රැක බලා ගනිමින් ඌට ආහාර සපයා උගේ මාංශ පුෂ්ටිමත් කළ යුතු වේ.  

كُنَّا نَتَزَوَّدُ لُحُومَ الْأَضَاحِيِّ عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَدِينَةِ

නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයේ අපි මදීනාවෙහි උල්හිය්යා සතුන්ගේ මාංශ වර්ධනය කිරීමට කටයුතු කරන්නන් වූයෙමු. 

(වාර්තා කරු: ජාබිර් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය බුහාරි)

 

සත්වයින්ගේ වයස් සීමාව හා සත් දෙනෙකු හවුලේ ලබා දීම

වසරක් සම්පූර්ණ වූ එළුවෙකු හෝ දෙවසරක් සම්පූර්ණ වූ ඔටුවෙකු  කුර්බාන් ලබා දීමට සුදුසු සත්වයින් වෙයි.

එළුවෙකු කුර්බාන් දීමට අපේක්ෂා කරන කිසිවෙකු වේ නම් ඔහු එය හවුලේ ඉටු නොකර තනිවම ඉටු කළ යුතුය. තනිව කුර්බාන් ලබා දීමට වත්කමක් නොමැති නම් සත් දෙනෙකු එක් වී ගවයෙකු මිලට ගෙන කුර්බාන් ලබා දිය හැක. ගවයෙකු හෝ ඔටුවෙකු එළුවන් හත්දෙනෙකුට සමාන ලෙස ඉස්ලාමයේ සැලකෙන බව අවදානයට යොමු කළ යුතු වේ.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ حَجَجْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَنَحَرْنَا الْبَعِيرَ عَنْ سَبْعَةٍ وَالْبَقَرَةَ عَنْ سَبْعَةٍ

ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ රසූල්වරයා සමඟ හජ් ඉටු කළෙමු. එවිට අපි ඔටුවෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද හරකෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද කැපුවෙමු.                             (මූලාශ්‍රය: මුස්ලිම්)

 

අඩුපාඩු නොමැති සත්වයින් කුර්බාන් කිරීම

කුර්බාන් වෙනුවෙන් කපා හරින ලද සතුන් අං නොකැඩුනු, කන් නොකැපුනු, අන්ධභාවයෙන් තොර පැහැදිලි රෝගා බාධයන්ගෙන් හා පැහැදිලි කොර භාවයෙන් මිදුනු ස්වයංව ගමන් කිරීමට ශක්තිය ඇති ඇට කටු පෙනෙන තරමට හීන වී නොගිය වයස්ගත නොවූ කිසිදු අඩුපාඩුවකින් තොර සතෙකු විය යුතුයි.

සලාතය ඉටු කළ පසු කැපීම.

හජ් අවුරුදු සලාතය ඉටු කළ පසුවය සත්වයා කැපිය යුතු වන්නේ. සලාතයට පෙර කපා හැරියේ නම් එය උල්හියියා වශයෙන් සලකනු නොලැබේ. උල්හිය්යා වෙනුවෙන් වූ කුසල් ද නොලැබේ.

කවරෙකු අප සලාතයට පෙර කපන්නේ  ද ඔහු ඒ වෙනුවට තවත් එකෙකු කැපිය යුතු වන්නේය. කවරෙකු අප සලාතය අවසන් වන තෙක් නොකැපුවේ ද ඔහු (සලාතයෙන් පසු) අල්ලාහ්ගේ නාමයෙන් කපා දමත්වා! යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.

(වාර්තාකරු ජුන්දුබ් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

සත්වයා කපන විට

කපන පිහිය හොදින් මුවහත් කර සත්වයා අපහසුතාවට ලක් නොකර ඉතා සැහැල්ලුවෙන් කපා හැරිය යුතුයි. ඔටුවා සිටවා තබමින් ද එළුවන් හා ගවයින් එක් පැත්තකට බිම ඇල කර තබමින් ද කපා හැරිය යුතුයි. කපන අවස්ථාවේ

 بسم الله والله أكبر බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් යනුවෙන් පවසා කපා හැරිය යුතුයි. (මූලාශ්‍රය බුහාරි මුස්ලිම්)

අහෝ ආයිෂා, පිහිය ගෙන එන්න, එය ගලක අතුල්ලා හොදින් මුවහත් කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එලෙස ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය කටයුතු කළාය. ඉන් පසුව නබි තුමාණන් පිහිය හා එළුවා අල්ලා ගෙන එය එක් පැත්තකට ඇල කර බිම දිගාවන්නට තබා කපා හැරියහ. බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් යනුවෙන් පැවසූහ. යා අල්ලාහ් මෙය මුහම්මද්ගෙන් ද මුහම්මද්ගේ පවුලේ අයගෙන් ද මුහම්මද්ගේ ජනයාගෙන් ද පිළි ගනු මැනව යැයි පැවසූහ.               (වාර්තා කරු: ආයිෂා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

 

කාන්තාවන්ට සත්වයා කපා හැරිය හැකි ද?.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත එක් කාන්තාවක් (මුවහත්) ගල් මගින් එළුවෙකු කපා ගෙන ආ අවස්ථාවේ එය අනුභව කළ හැකිය යැයි පැවසූ හදීසය ඉබ්නු මාජා හා බුහාරි යන් ග්‍රන්ථයන් හි සඳහන් වී ඇත.

 

එක් පවුලකට කුර්බාන් එකක්

කුර්බාන් ලබා දෙන්නා තමන් වෙනුවෙන් ද තමන්ගේ පවුල වෙනුවෙන් ද එක් කුර්බානයක් ලබා දීම ප්‍රමාණවත් වෙයි. පවුලේ ඇති එක් එක් සාමාජිකයින් වෙනුවෙන් කුර්බාන් ලබා දීම අවශ්‍ය නොවෙයි.  

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ කුර්බාන් ලබා දීම කෙසේ පැවතියේ දැයි අබූ අය්යූබ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමාගෙන් මම විමසුවෙමි. එයට ඔහු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ කෙනෙකු තමන් වෙනුවෙන් ද තමන්ගේ නිවස වෙනුවෙන් ද එළුවෙකු කුර්බාන් ලබා දෙයි. එයින් එතුමාණන් අනුභව කර සෙසු අයටත් ආහාර වශයෙන් ලබා දෙයි. ජනයා උඩඟුකම් පාන්නට පටන් ගත් අවස්ථාවේ (අද) නුඹ දකින තත්ත්වය (එනම් එක් පවුලක් එළුවන් බොහෝමයක් කපා හරින තත්ත්වය) ඇති විය. යනුවෙන් පවසා සිටියහ. (වාර්තාකරු: අදා ඉබ්නු යසාර්, මූලාශ්‍රය ඉබ්නු මාජා, තිර්මිදි)

 

තමන් විසින්ම කපා හැරීම සුන්නාහ්ව වෙයි

උල්හිය්යා ලබා දෙන්නා සත්වයා කපන්නට නිවැරදි දැනුම ඇත්නම් එම සත්වයා තමන් විසින්ම කපා හැරීම සුන්නාහ්ව වෙයි. නබි තුමාණන් අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ නාමය පවසමින් එමෙන්ම තක්බීර්ද පවසමින් යා අල්ලාහ්, මෙය මා වෙනුවෙන් හා උල්හිය්යා ලබා නොදුන් මාගේ සමූහයා වෙනුවෙනි යැයි පවසා එක් එළුවෙකු කපා හැරියහ. (අබූ දාවූද්, තිර්මිදි)

 

බෙදා හැරීම

කුර්බාන් මස් කොපමණ ප්‍රමාණයක් බෙදා හැරිය යුතු ද යන්න සීමාවක් පනවා නැත. තමන්ට කැමති පරිදි කැමති ප්‍රමාණයක් හඳුනන නොහඳුනන මුස්ලිම්වරුන්ටත්, ඥාතීන්ටත්, ලබා දිය හැකිය. රැස් කර තබා ගත හැකිය. එමෙන්ම අනුභව කළ ද හැකිය.

එයින් නුඹලා ද අනුභව කරන්න දුඟී දුප්පතුන්ටත් ලබා දෙන්න. (අල්--කුර්ආන් 22:28)

කුර්බාන් මස් නුඹලා අනුභව කරන්න, රැස් කර තබා ගන්න. පරිත්‍යාග කරන්න යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

 

කුර්බාන් කළ සතාගේ හම කුලිය වශයෙන් ලබා දීම නුසුදුසුය.

කුර්බාන් ලබා දෙන්නා තම දෑතින්ම එය කපා හැරීමය ඉතා උතුම් වනුයේ. තමන්ට කපා හරින්නට නොහැකි නම් තවත් කෙනෙකුගේ උදව්වෙන් කපා හැර හම් ගසා පිරිසිදු කර ගත හැක. එවිට ඒ වෙනුවෙන් කුලිය ලෙස කපා හරින ලද සත්වයාගේ හම මස් වැනි කිසිවක් කපන්නාට ලබා නොදිය යුතුයි.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කුර්බාන් දීම සඳහා වූ ඔටුවන් නිරීක්ෂණය කරන්නට මා පත් කළේය. ඒවායෙහි මස්, හම් වැනි දෑ පරිත්‍යාගක් වශයෙන් පිරිනැමිය යුතු යැයි ද ඒවායෙහි කිසිවක් කපන්නාට කුලිය වශයෙන් ලබා නොදිය යුතු යැයි ද පවසා සිටියහ. අපි සත්වයා කපා හැරීමේ කුලිය වෙනමම ලබා දෙන්නෙමු යැයි අලී (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටීය. (මූලාශ්‍රය: බුහාරි)

 

සෙසු ආගමික සහෝදරවරුන්ගේ හිත් නොරිදවා ගෞරවනීය අයුරින් ක්‍රියා කළ යුතුයි.

සහෝදරයිනි, විවිධ ආගමික සහෝදරයින් ජීවත් වන රටවල් වල සෑම ආගමික නියෝජිතයෙකුම ඔවුනට සතු ආගමික පිළිවෙත් අනුගමනය කරමින් ජීවත් වීමට සම්පූර්ණ නිදහස ඇත. කෙනෙකු තවත් කෙනෙකුගේ ආගමික නිදහසට බාධාවන් ඇති නොකළ යුතුයි. එමෙන්ම විරුද්ධ අදහස් ඇති සහෝදරයින් හා ඔවුන්ගේ දහම් ගරු කිරීමේ ගුණාංගය තමන් තුළ තිබිය යුතුයි.

ඇතැම් රටවල් වල එළදෙනුන් දෙවියන් ලෙස සලකා ඒවාට වැදපිදුම් කරන අය ද සිටිති. එමෙන්ම එළදෙනුන් මිලට ගෙන ජීවිත දානය ලබා දෙන්නන් ද සිටිති. සෑම කෙනෙකුගේම විශ්වාසය, ප්‍රතිපත්තීන් හා පිළිවෙත් ඒකාකාරී නොවේ. ඒවා විවිධාකාරය.

එබැවින් මෙය අපි වටහා ගෙන කුර්බාන් දෙන විට සත්වයින්ගේ ඇටකටු, හම් වැනි ඉවතලන දෑ පාර අයිනේ හෝ කාණුවල හෝ කුණු කසල ගොඩවල් වලට දැමීමෙන් වැළකිය යුතුයි. එමෙන්ම ලේ වැගිරෙන අයුරින් කුර්බාන් මාංශ ගෙන යෑම හෝ ප්‍රවාහනය කිරීම වැනි දැයින් ද සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. මෙවැනි ක්‍රියාදාමයන් ඉස්ලාමයට නරක නාමයක් ඇති කර දෙන්නක් බව සිතට ගත යුතුයි.

එමෙන්ම කුර්බාන් සත්වයා මහ පාරේ රැගෙන යන විට ඌට වධ දී අපහසුතාවට පත් කර ඇදගෙන නොයා යහපත් අයුරින් රැගෙන යා යුතුයි. නැතිනම් වාහනයක පටවා ගෙන යා යුතුයි.

මෙම විනයන් කුර්බාන් ලබා දෙන කාලවලදී ද සෙසු කාලවල දී ද අනුගමනය කිරීමට පුරුදු විය යුතුයි. සෙසු ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවා ගෞරවයෙන් කටයුතු කළ යුතුයි.

උදාර ඉස්ලාමීය සංකල්පය, අලංකාර ඉස්ලාමීය ජීවන ක්‍රමය සෙසු ආගමික සහෝදරයින්ට ගෙන හැර පෑම අපගේ වගකීමයි. පෙර කාලයේ විසූ මුස්ලිම්වරුන්ගේ නිහතමානී හැසිරීම් ලොව පුරා ඉස්ලාමය පැතිර යන්නට හේතු වූ බව අප අමතක නොකළ යුතු කරුණකි. අපගේ දහම දැක බොහෝමයක් ජනයා තෘප්තියට පත් වනු දැකීම අප සැමට සතුටක් නොවන්නේ ද?

එසේ නම් ඒ සඳහා වූ ජීවිතය සකස් කර ගැනීමට අද පටන් අරඹමු. ඉන්ෂා අල්ලාහ් !